සිදුවූ අනතුරත් සමඟම ටයිටැනික් හි මඟීන් ගෙන් අඩක් ඒ වන විටත් සිය මරණ සහතික අතැතිව සිටියහ. මුලින් ම මගීන් කිහිප දෙනෙක් පමණක් සිදුව ඇති අනතුර සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ හ.  සමහරු අනෙක් පිරිස් නැවත පැමිණේ යන විශ්වාසයෙන් යුතු ව ඔවුන්ගේ උණුසුම් කාමර අතහැර අධික ශීතලකින් යුතු විවෘත සාගරය ට යා මට අකමැති විය.

එසේම තවත් සමහරෙකුට නෞකාවේ  ඇතුළත  පැවැති   මාර්ග වල  සංකීර්ණ බව නිසාත්, තවත් සමහරෙකුට පැවැති ඇමරිකානු නීතිය අනුව තුන්වැනි පන්තියේ මඟීන්, පළමු හා දෙවැනි පන්තියේ මඟින් ගෙන් සම්පූර්ණයෙන් ම වෙන් කොට තැබීම අවශ්‍ය කාරණයක් ව පැවතීම හේතුවෙන් ඒ ආකාරයට නෞකාවේ අභ්‍යන්තර ව්‍යුහය සකස් කොට තිබූ නිසාත්, කිසිදිනෙක ජීවිතාරක්ෂක බෝට්ටු වෙත ළඟා වීමේ භාග්‍යය උදාකර ගැනීමට අපොහොසත් විය.

ජීවිතයේ අප අසා ඇති, අන් අය වෙනුවෙන් සිය ජීවිතය කැප කළා වූ, මනුෂ්‍යත්වය සනිටුහන් කළ වීර කතාන්තර, ආදර කතාන්තර එමට තිබෙන්නට පුළුවන. එසේ ම, ටයිටැනික් හි ජැක්, රෝස් ආදර අන්දරය අදටත් ඔබේ සිත සියුම්ව ස්පර්ෂ කරනවාට, දෙනෙත් රහසින් තෙත් කරනවාට සැකයක් නැත. නමුත් පරාර්ථය, ආදරය පෙරදැරි කරගත් මනුෂ්‍යත්වය වෙනුවෙන් සැබැවින්ම සිය ජීවිතය කැපකළ, මතකයක්, සටහනක් නොතබා ටයිටැනික් සමඟ සාගර පත්ළේ සැඟව ගිය බොහෝ දෙනෙක් එදා ටයිටැනික් නෞකාවේ සිටියහ. අනෙක් අයට පෙර ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැගීම ප්‍රතික්ෂේප කළ Macy’s department store හි කොටස් හිමිකරුවකු වූ ඉසිඩෝර් ස්ට්‍රවුස් (Isidor Straus) සමඟ “මම සැමවිටම මගේ ස්වාමිපුරුෂයා සිටියා. ඉතින් ඇයි දැන් මම  ඔහුව දාලා යන්නේ? ”යි පවසමින් සිය ස්වාමියා අතහැර නෞකාවෙන් පිටවයාම ප්‍රතික්ෂේප කළ,  අවසන් සුසුම් පොද වාතළයට මුහුව යන තෙක් ජීවන ගමන සිය ස්වාමියා සමඟ රැඳී උන් ඉසිඩෝර් ස්ට්‍රවුස් ගේ බිරිඳ ඉඩා (Ida) ආදී වූ බොහෝ දෙනෙක් ඒ අතර සිටි අතර ඒ සියලූම දෙනා මනුෂ්‍යත්වය වෙනුවෙන් ආදරයෙන් සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

එක් ජීවිතාරක්ෂක බෝට්ටුවක කොපමණ පිරිසක් අසුන් ගත හැකි දැයි ටයිටැනික් නිලධාරීන් දැන සිටි නමුත් ඔවුන් කාරණා දෙකක් නිසා එම ධාරිතාව සම්පූර්ණ වනතුරු ජීවිතාරක්ෂක බෝට්ටු වලට මගීන් නැංවීම සිදු නො කරන ලදී.  පළමුවෙන්ම, දෙවන නිලධාරි චාල්ස් ලයිටොලර් (Charles Lightoller) සාක්‍ෂි දෙමින් කියා සිටියේ බෝට්ටුවකට නැංවිය හැකි සම්පූර්ණ මගීන් ප්‍රමාණය වන මඟීන් 70 දෙනෙකුගේ බර බෝට්ටු පහත හෙලීමේ යාන්ත්‍රණයන් හට දැරිය හැකි ද යන්න පිළිඹඳ ව කාර්ය මණ්ඩලයට සැකයක් පැවැති බවයි. දෙවනුව, බෝට්‍ටු දියත් කිරීමට පෙර කාලය නාස්ති කළ නොහැකි බව කාර්ය මණ්ඩල සාමාජිකයින් දැන සිටියහ. එසේ කිරීමට යාමෙන් සියලු ම ජීවිතාරක්ෂක බෝට්ටු සහ එංගල්හාර්ඩ් බෝට්ටු, බෝට්ටු පහළට හෙළීමේ තිරිංක වලට සවි කර මුහුදට පහත් කිරීමට පෙර නෞකාව  ගිලී අවසන් වීය හැකි විය.

අවසාන එංගල්හාර්ඩ් බෝට්ටු (Engelhardts) දෙක දියත් කිරීම සඳහා පැවති කාලය ප්‍රමාණවත් නො වූ අතර එක් බෝට්ටුවක් නෞකාවේ කාර්ය මණ්ඩලය දියත් කිරීමට ප්‍රථමයෙන් සාගරයට ඇද වැටුණු අතර  අනෙක් සාගර රළ හේතුවෙන් උඩු යටිකුරුව පෙරළී ගියේ ය.   

හිස් ආසන 400ක් පමණ සහිතව ජීවිතාරක්ෂක බෝට්ටු ටයිටැනික් නැවෙන් පිට ව ගිය බව සියලු දෙනා පැවසූහ.  ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩ වීමට හැකි වූ යේ පුරුෂයන් අඩු ප්‍රමාණයකට පමණි. මන්දයත්, ජීවිතාරක්ෂක බෝට්ටු වලට මගින් නැංවීමට නියෝග කළ නැවේ කපිතාන් ස්මිත්, මෙගාෆෝනයක් ඔසවා, “පළමුව කාන්තාවන් සහ ළමයින්!”  යයි  ප්‍රකාශ කළ අතර  ඒ අනුව   නෞකාවේ වම් පසින් ජීවිතාරක්ෂක බෝට්ටුවලට මඟීන් නැංවීම සිදුකළ ලයිටොලර් (Lightoller) විසින් සෑම බෝට්ටුවකට ම නංවා ඇත්තේ යාත්‍රා කිරීමේ  පළපුරුද්ද ඇති එක් අයෙකු හැරුණු විට කාන්තාවන් සහ ළමුන් පමණි.

නමුත්, පළමු නිලධාරි මර්ඩොක් (Murdoch) කපිතන්ගේ එම නියෝගය ඊට වෙනස් ලෙස අනුගමනය කළ අතර, ඔහු ජීවිතාරක්ෂක බෝට්ටු වලට සිටින සියලුම කාන්තාවන් හා දරුවන් නැංවීමෙන් අනතුරුව ඉතිරි ඉඩකඩ  පුරුෂයන් හට ලබාදීමට කටයුතු කරන ලදී .

කාලයත් සමඟ ජලය පිරීම නිසා නෞකාවේ ඉදිරිපස ජලයේ ගිලී යත්ම, නෞකාවේ අවර ජලයෙන් එසවෙන්නට විය. තවමත්  නෞකාවේ රැඳී සිටි පිරිස් තමන් ජලයට ඇද වැටීමට හෝ ජලයට පැනීමට පෙර තමන්ට ජීවිතයේ ලබාගත් හැකි අවසාන තත්පර කීපය හෝ  ලබා ගැනීම සඳහා  මාරාන්තික අරගලයක නිරත වෙමින්,  නෞකාවේ ඉදිරිපස ගිලී යාමත් සමග ඇලවී ගිය ටයිටැනික් හි පසුපස තට්ටුව දිගේ ඉතා අපහසුවෙන් බඩගාගෙන යන අතර, ජීවිතාරක්ෂක බෝට්ටු වල සිටි පිරිස් මරණය සමග පොර බදින සිය සහෘදයින් දෙස ඉතා භීතියෙන් බලා සිටින්නට විය.   

1912 අප්‍රේල් 15 වන දින අළුයම 2: 20 ට පමණ වන විට ටයිටැනික් සම්පූර්ණයෙන්ම සාගරයේ ගිලී අතුරුදහන් විය. ජීවිතාරක්ෂක බෝට්ටුවක ආසනයක් සොයා ගැනීමට අපොහොසත් වූ සියල්ලන් හට අධික ලෙස ශීතල වූ අත්ලාන්තික් සාගරය උරුම විය. සාගරයේ වූ අධික ශීතල හමුවේ ජීවිතාරක්ෂක කබායන් ගෙන් කිසිඳු ප්‍රයෝජනයක් නොමැති විය . ස්මිත්, මර්ඩොක්, ඇන්ඩෘස්, ෆිලිප්ස් සහ තවත් සිය ගණනක්, කෝටිපතියන්ගේ සිට අපිරිසිදු දුප්පත් සංක්‍රමණිකයන් දක්වා දියේ ගිලීමෙන් හෝ අධික ශීතල නිසා මිය ගියහ.

සැතපුම් ගණනක් ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටි කියුනාර්ඩ් සමාගමේ (Cunard) කාර්පාතියා ( RMS Carpathia )නෞකාවට ටයිටැනික් නැවෙන් නිකුත් කරනු ලැබූ අනතුරු ඇමතුම් ලැබුණු අතර, කාර්පාතියා ( RMS Carpathia )නෞකාව අනතුරට ලක් වූ ටයිටැනික් නැවෙන් අවසාන වරට දන්වනු ලැබූ අයිස් වලින් වට වූ ස්ථානය බලා කෙලින්ම ගමන් කිරීම අරඹන ලදී.  

සාමාන්‍යයෙන් කාර්පාතියා ( RMS Carpathia ) නෞකාවේ උපරිම වේගය නාවික සැතපුම් 14.5 පහක් වුවද කපිතාන් ආතර් රොස්ට්‍රොන් (Arthur Rostron), සිය නෞකාවේ ශක්තිය  අවසාන දශමය දක්වා  එන්ජින් වලට යොමු කරන ලදී.  කාර්පාතියා ( RMS Carpathia) නෞකාව  නාවික  සැතපුම් 17.5  ක වේගයකින් ටයිටැනික් නෞකාව කරා ඉගිළී යන අතර, අමතර බැලුම්කරුවන් මාර්ගයේ අයිස් කුට්ටි වේ දැයි නොසන්සුන් ලෙස  සිය ඉදිරි ගමන් මග පරිීක්ෂා කරන්නට විය . 

දිවි ගලවා ගත් අයට බලාපොරොත්තුවක් ලබා දීම සඳහා සෑම විනාඩි 15 කට වරක් අහස් වෙඩි එල්ල කරන ලෙස කපිතාන් රොස්ට්‍රොන් නියෝග කළේ ය. එසේම ඔහු, ඔහුගේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට තාවකාලික රෝහල් තුනක් පිහිටුවන ලෙසත්, සූපවේදීන් හට උණුසුම් සුප් සහ බීම පිළියෙළ කරන ලෙසත්, නියෝග කළ අතර සිය නෞකාව කම්පනයට පත් මගීන් සඳහා සූදානම් කළේ ය. අවසාන වශයෙන් පාලන කුටිය තුල සිට ගත් ඔහු සිය දෙනෙත් පියාගෙන දෙවියන් යාච්ඤා කරන්නට විය. 

අවසානයේ  අලුයම 3.30 ට පමණ සිව්වන නිලධාරි ජෝසෆ් බොක්ස්හෝල් (Joseph Boxhall) විසින් තබන ලද කොළ පැහැති දැල්ලකින් යුතු අහස් වෙඩිල්ලේ දැවුණු කඩදාසි  බිමට පතිත වීමටත් පෙර  කාර්පාතියා ( RMS Carpathia) නෞකාව  අනතුර සිදු වූ ස්ථානයට මිණියේ ය.   

අළුයම 4: 10 ට කර්පාතියා නෞකාව වෙත ජීවිතාරක්ෂක බෝට්ටු  අංක 2  සහ ඒ පසුපස අනෙක් ජීවිතාරක්ෂක බෝට්ටු 15 සහ නැමිය හැකි එංගල්හාර්ඩ් බෝට්ටු 4 පැමිණි අතර ඉන් එක් එංගල්හාර්ඩ් බෝට්ටුවක් උඩු යටිකුරුව, එහි  මුදුනෙහි යන්තමින් එල්ලී ගෙන සිය ජීවිත බේරා ගත් පිරිස කින් යුක්ත විය.

දිවි ගලවාගත් මගින් නෞකාවට පටවා ගැනීම සඳහා පැය හතරකට වඩා වැඩි කාලයක් ගත විය.  කාර්පාතියා ( RMS Carpathia )නෞකාව  නිව්යෝර්ක් වෙත පැමිණීම දැක බලා ගැනීම සඳහා 40,000 ක් පමණ පිරිසක් පැවැති සීතල වැසි කුණාටුව නොතකා අප්‍රේල් 18 වන දින එක්රොක්ව සිටියහ. 

කාර්පාතියා ( RMS Carpathia ) නෞකාව වයිට් ස්ටාර් ලයින් (White Star Line) ජැටිය වෙතට ගොස් ටයිටැනික් හි ජීවිතාරක්ෂක බෝට්ටු සමාගමේ නියෝජිතයින්ට ආපසු ලබා දුන්නේ ය. මෙම ජීවිතාරක්ෂක බෝට්ටු වලට සිදුවූයේ කුමක්ද යන්න අදටත් අභිරහසක්ව පවතී.

අනතුරුව  කාර්පාතියා ( RMS Carpathia ) නෞකාව  කියුනාර්ඩ් සමාගමේ  ජැටිය වෙත ගොස් පළමු ව සිය නෞකාවේ මඟීන් ගොඩ බැස්සවීමෙන් අනතුරුව ටයිටැනික් හි ජීවිත බේරාගත් මඟීන් ගොඩ බැස්සවීමට කටයුතු කරන ලදී.

මේ අතර, උතුරු අත්ලාන්තික් සාගරයේ පාවෙන මියගිය ටයිටැනික් නෞකාවේ  මඟීන් ගේ මළ සිරුරු  එකතු කර ගැනීම සඳහා නෝවා ස්කොටියා (Nova Scotia) හි හැලිෆැක්ස් (Halifax) හි වූ වයිට් ස්ටාර් කාර්යාලය මැකේ-බෙනට් (Mackay-Bennett) නෞකාව යොදවන ලදී. මෙම නෞකාව අයිස්, මිනී පෙට්ටි, එම්බාම් දියර සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් 40 දෙනෙකු පමණ රැගෙන ගියේය.  එය අපේ‍්‍රල් 20 වන දින එහි ගමනාන්තයට ළඟා විය.  එම කටයුතු සඳහා උපකාර කිරීමට වයිට් ස්ටාර් සමාගම මගින් යොදවන ලද  නෞකාවක් වන මිනියා (Minia) අප්‍රේල් 26 දින අනතුර  සිදුවූ ස්ථානයට පැමිණියේය. මුහුද හා සුළඟ නිසා මළ සිරුරු වියළී ගොස් තිබූ අතර බොහෝ සිරුරු කැඩී බිඳී ගොස් හෝ විකෘති වී තිබුණි.

නැව් මගින් මළ සිරුරු 323 ක්  රැගෙන එන ලද අතර, වඩාත්ම විනාශ වූ මළ සිරුරු 100 කට වඩා වැඩි ප්‍රමාණයක අවසන් කටයුතු මුහුදේ දීම මුහුදේ දීම සිදුකරනු ලැබී ය.  එම පුවත වෙරළ තීරයේ රැඳී සිටි ඥාතීන් කලබලයට පත් කළ නමුත් මැකේ-බෙනට් කපිතාන් සිය සැබෑ අදහස් වසන් කරමින්,  උත්ප්‍රාසායෙන් යුතුව, “කිසිම ප්‍රමුඛ පුද්ගලයෙක් ගැඹුරට යවා නැත” යනුවෙන් ප්‍රකාශ කළේ ය.  අනෙකුත් නැව් පසුව තවත් මල් මළසිරුරු 5 ක් සොයා ගන්නා ලදී .

මළ සිරුර සොයා ගැනීම සඳහා යොදවා තිබූ කණ්ඩායම සාගරයේ දීම මළ සිරුරු හඳුනා ගැනීම සඳහා කටයුතු කරන ලද අතර, ඒවා නෝවා ස්කොටියා වෙත ප්‍රවාහනය සඳහා සූදානම් කරන කළ හ. ඒ අතරතුර දී ම ඔවුන් හඳුනා ගන්නා ලද තැනැත්තන්ගේ නම් වයිට් ස්ටාර් සමාගමට ගුවන්විදුලි පණිවිඩ මගින් ලබා දීමෙන් අනතුරුව, එම තොරතුරු පුවත්පත් වෙත ලබා දීමට කටයුතු සිදු කරන ලදී. 

ඥාතීහු තමා ගෙන් වෙන්ව ගිය සිය ළබැඳියන් ගේ  හුරුපුරුදු නම් එම ලැයිස්තු තුළ වේ දැයි සොයා බලන්නට විය.  කෙසේ වෙතත් සමහරුන්ගේ නම්වලින් පළ ව තිබුණේ වාසගම හෝ සම්පූුර්ණ නමින් කොටසක් පමණි.  උදාහරණයක් ලෙස ජෝර්ජ් ඩී. වයිඩ්නර් (George D. Widener), “ජෝර්ජ් ඩී. වයිඩ්න්” (George D. Widen) ලෙස පළව තිබූ අතර,  තවත් ම ළ සිරු සිරුරක්  හඳුනාගෙන ඇත්තේ “හේටර්” (Hayter) ලෙස පමණි.    

තමන් අතරින් වෙන් වූ සහෘදයින්ගේ පැහැදිලි හා නිශ්චිත තොරතුරු ලත් ඥාතීන්,  සිරුරු හඳුනා ගැනීමටත්, හිමිකම් පෑමට සහ සිය  ඥාතියාගේ  මතකයන් හා සබැඳි ඉතිරි වූ දෙයක් ඇත්නම් ඒවා ලබා ලබාගැනීමටත් හැලිෆැක්ස් පැමිණෙන ලදී.  

අංක 124 ලෙස නම් කර තිබූ කෝටිපති ජෝන් ජේකොබ් ඇස්ටර් IV (John Jacob Astor IV) ගේ දේහය ඔහුගේ පුත් වින්සන්ට් (Vincent) විසින් හඳුනා ගැනීම, එසේ සිදුකරන ලද මුල්ම හඳුනා ගැනීම විය. අවසානයේ දී ශෝකයට පත් ඥාතීන් විසින් තවත් මළ සිරුරු 58 ක් වෙනත් තැන්වල භූමදාන කිරීම සඳහා ලබාගන්නා ලද අතර කිසිවකු විසින් හඳුනාගෙන, බාර ගැනීමක් සිදු නො කල මළ සිරුරු 150 හැලිෆැක්ස් සුසාන භූමි තුනක භූමදානය කෙරීමට කටයුතු සිදු කෙරිණි.

අවසානයේ හැලිෆැක්ස් මෘත ශරීරාගාරයේදී සෑම මළ සිරුරකටම “අනතුටකින් දියේ ගිලීම, එස්. එස්. ටයිටැනික්, මුහුදේ දී” සටහන් කරන ලද මරණ සහතිකයක් ලබා දෙන ලද අතර සදා නොගිලෙන ටයිටැනික් හි ඉරණම එසේ විසඳුණි.

Leave a Reply