ග්‍රීක පුරා පුරාවෘත්තවලට අනුව දෙවිවරුන් හා සමාන වූ ටයිටන්වරුන් විසින් කලක මිහිතලය පාලනය කළ බවත් එය ඉතා ස්වර්ණමය යුගයක් වූ බවත් කියැ වේ.  ටයිටන් යන වචනය සුවිසල්, ඉතා විශිෂ්ට, බලවත් වැනි අරුතක් ලබා දේ.  ටයිටන් යන වචනයෙන් බිහි වූ, ටයිටැනික්  යන වචනය ද මීට වසර සියයකට පමණ පෙර එක්තරා අඳුරු සීතල රාත්‍රියක සිදු වූ මහා ඛේදවාචකය ඉතිහාසයේ සනිටුහන් වනතුරු ටයිටන්වරුන්ගේ වික්‍රමාන්විත කතාන්තර, මිනිස් සිත් සතන් හි ඉතා උණුසුම් හැඟුම් ජනිත කරන්නට ඇති බව ට සැකයක් නැත.

එම අවාසනාවන්ත දිනය 1912 අප්‍රේල් මස 15 වන දා ය. එදින, ඒ වන විට ලෝකයේ විශාලතම හා වඩාත් ම සශ්‍රීක සාගර යාත්‍රාව වන රෝයල් මේල් ෂිප් ටයිටැනික් නෞකාව බටහිර දෙසට එහි මංගල ගමනේ යෙදී සිටියා ය. නමුත් ඇය, ඇගේ ගමනාන්තය ට ළඟා වීමට මත්තෙන් බොස්ටන් හි සිට සැතපුම් 1,000 ක් පමණ නැගෙනහිර දෙසට වන්නට, 1912 අප්‍රේල් මස 15 අලුයම අයිස් පරයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පැය 2 යි විනාඩි 40 ක් තුළ ඇය දරා සිටි අත්ලාන්තික් සයුරේ ගිලී අතුරුදහන් විය. මෙම ඛේදවාචකයෙන් එවකට සිටි ශ්‍රේෂ්ටතම, කීර්තිමත්ම පුද්ගලයෝ සහ නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ ද ඇතුළුව මගීන් 1,500 කට වැඩි පිරිසක් ද ඇය සමඟ අත්ලාන්තික් සාගර පතුලේ එදින සැඟවී ගිය හ.

අනතුර සිදුවීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි කාර්පාතියා ( RMS Carpathia ) නෞකාව, ජීවිතාරක්ෂක බෝට්ටු වල සිටි 706 දෙනෙකු ගේ දිවි ගලවා  සමත් විය. එසේ දිවි ගලවාගත් පිරිස් ඛේදවාචකය පිළිබඳ ව කරන ලද හෙළිදරව් කිරීම් ඇදහිය නො හැකි තරම් විය.

ටයිටැනික් නෞකාව සැබැවින් ම ගිලී යා හැකි ද ? යන ප්‍රශ්නය ඉදිරිපත් වූ විට දී;

ගිලෙන්න ?

ඇණියේ (නැවේ ඉදිරි පස) සිට නැවේ අවර වැට (නැවේ පසු පස ඇති යකඩ වැට) තෙක් අඩි 882.5 කින් ද, නැව් පත්ලේ සිට දුම් නළවල විවරයන් තෙක් අඩි 175 කින් ද, නගර කොටස් 4 ක පමණ වපසරියකින් ද, තට්ටු නමයක ගොඩනැඟිල්ලක් තරමට උසකින් ද යුක්ත වූ ටයිටැනික් නෞකව, වානේ වලින් තනන ලද බිදීමේ කොටස් 15 කින් බෙදා වෙන් කර, සකස් කරන ලද ජලරෝධක කුටීර වලින් යුතු  වූ අතර නෞකාවේ නිෂ්පාදකයින්ගේ අදහස වූයේ සයුරේ දී මුහුණ දිය හැකි ඕනෑම හදිසි අනතුරක් ඉදිරියේ පවා, සිය නෞකාව ට නො ගිලී නිරුපද්‍රිත ව සිටිය හැකි බවයි. එසේ නම් ඇය කෙසේ ගිලෙන්න ද ?

ගිලෙන්න?

ආපදා සිදු වීම ඉතා අවම මට්ටමක පැවැති අතර, පසුගිය වසර 40ක උතුරු අත්ලාන්තික් සංචාරයන් හි දී මිය ගොස් පැවැතියේ මගීන් හතර දෙනෙකු පමණි. එසේ නම් ඇය කෙසේ ගිලෙන්න ද ?

ගිලෙන්න?

ටයිටැනික් නෞකාවේ කපිතාන් වරයා පවා වරක් ප්‍රකාශ කළේ නවීන නැවක් ගිලී යා හැකි කිසිදු ආකාරයක් තමාට සිතා ගත නො හැකි බවයි.

නැව් තැනීමේ සඟරාව ටයිටැනික් නෞකාව පරීක්ෂා කර එය “සැබැවින් ම නො ගිලිය හැකි” යැයි ප්‍රකාශ කර, හඳුන්වා දී තිබිණි. එසේ නම් ඇය කෙසේ ගිලෙන්න ද ?

කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් ඒ සියලු ප්‍රකාශ, තත්ව සහතික කිසිදු වටිනාකමක් නො තබා හිස් ව ම වාතලයට මුසුව ගොස් ඇත.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චණ්ඩ වූ කුණාටුවක්, මිනිස් අත්වැරදීම් සහ උඬඟුකම නිසා ටයිටැනික් නෞකාව ද, ටයිටන්වරු ලෙසම කාලයේ වැළිතලයේ සැඟව ගොස් ඇත.

වර්ෂ 1907 ග්‍රීෂ්ම ඍතුවේ දිනක, රාත්‍රියේ දී,පෙරී සාමිතුමන් ගේ ලන්ඩනයේ පිහිටි මන්දිරයේ දී වයිට් ස්ටාර් ලයින් හි කළමණාකාර අධ්‍යක්ෂ ජේ. බෲස් ඉස්මෙයි ( J. Bruce Ismay ) සහ හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් නැව් තැනීමේ සමාගමේ සභාපති පිරී සාමිවරයා (Lord Pirrie) විසින් නැපෝලියන් බ්‍රන්ඩි සහ කියුබානු සිගරට් මතින් ටැයිටැනික් නෞකාවේ සංකල්පය බිහි කරගත් මොහොතේ පටන් ම පෙර කී මවාගත් තේජස, උඩඟු බව ටයිටැනික් නෞකාවට ගැබ් වී තිබිණි.

 ඒ වන විට වයිට් ස්ටාර් ලයින් සමාගම විසින් ඇමරිකාවට සංක්‍රමණිකයින් රැගෙන යාමෙන් සහ අත්ලාන්තික් සාගරය හරහා ධනවත් මගීන් ප්‍රවාහණයෙන් කිරීමෙන් කර අති විශාල ධනස්කන්ධයක් උපයාගෙන තිබිණි. 

නමුත් වයිට් ස්ටාර් සමාගමට සිය ව්‍යාපාරය තුළ ඉතා දැඩි තරඟයක් පැවැති අතර ප්‍රතිවාදීහු වේගවත්, සුව පහසු මගී ප්‍රවාහන නැව් තැනීමට උත්සාහ කළහ. ඇමරිකානු සහ ජර්මානු නාවික සමාගම් කියුනාර්ඩ් ඇතුළු බ්‍රිතාන්‍ය ප්‍රතිවාදී නාවික සමාගම් වලට එරෙහිව සිය පාලනය බලය තහවුරු කරගැනීම සඳහා සටන් කළහ. ඒ අතර තුර දී 1906 සහ 1907 දී, කියුනාර්ඩ් නාවික සමාගම විසින් වේගය සහ සුඛෝපභෝගී බව යන්නට නැවුම් අරුතක් එක් කරමින් ලුසිටානියා සහ මොරේටේනියා යන මඟී ප්‍රවාහන නෞකා ද්විත්වය හඳුන්වා දෙන ලදී.  

පවතින තරඟකාරී ව්‍යාපාරය තුළ එක තැන පල් වීම ඉස්මෙයි ප්‍රතික්ෂේප කළේ ය. එබැවින් ඔහුට හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් සමාගම මඟින් වයිට් ස්ටාර් සමාගම වෙනුවෙන් පවතින තරඟය බිඳ දැමිය හැකි ආකාරයේ නැව් සමූහයක් තනා නිම කර ගැනීමට අවශ්‍ය විය. ඉතින්, ඒ අනුව එදින රාත්‍රී ආහාරයෙන් පසු විවේක ගනිමින් සිටිය දී, පිරී සාමිවරයා ඉස්මෙයි ට අවශ්‍ය නැව් වලට ගැළපෙන දළ සටහන් සකස් කළේ ය.

ඒ අනුව එක හා සමාන නෞකා තුනක් නිර්මාණය කිරීමට තීරණය කරන ලද අතර, ඒවා කියුනාර්ඩ් සමාගමේ විශාලතම නෞකාවේ ප්‍රමාණයට ත් වඩා දිගින් අඩි 120 ක් සහ ටොන් 12,000 ක බරකින් යුතු නෞකාවන් විය. එම නෞකා ගල් අඟුරු දහනය කරන බොයිලේරු 29 කින් යුතු වූ එන්ජින්වලින් යුක්ත වන වනු ඇත. එසේ ම ඒවා ඉතා අලංකාර වනු ඇත, ඒවායේ ධාරිතාව පවා සියල්ලන් මවිතයට පත් කරනු ඇත,ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිඳු සැකයක් නොමැති වනු ඇත. ඒ අනුව මුලින්ම ඔලිම්පික් නෞකාවත්, පසුව ටයිටැනික් නෞකාවත්, පසුව ජයිගැන්ටික් නෞකාවත් (පසුව බ්‍රිටැනික් ලෙස නම් කරන ලදී) ඉදිකිරීමට තීරණය කරන ලදී. 

අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් නෞකාංගනයේ පිවිසුම හරහා කම්කරුවන් 15,000 කට වැඩි පිරිසක් සෑම උදෑසනකම යකඩින් හා වානේවලින් මෙම නැව් තැනීමට එක් රැස් වූහ. ඔවුහු ටයිටැනික් නෞකාවේ පතුල 1909 මාර්තු 31 වන දින සිය නිවුන් යාත්‍රාව වන ඔලිම්පික් නෞකාවට යාබදව තැබූහ. ඊළඟ අවුරුදු දෙක තුළ කම්කරුවන් 3,000 ක් පමණ ටයිටැනික් නෞකාව වෙනුවෙන් කැප වූහ. ඔවුන් නෞකාවේ බඳ සකස් කිරීම සඳහා වන වානේ තහඩු එකිනෙකට පුරුද්දා ශක්තිමත් කරන ලද අතර, එහි නැව් තට්ටු සඳහා අවශ්‍ය වන ආවරණය සූදානම් කළහ. 

හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් හි ප්‍රධාන නිර්මාණකරු වූ තෝමස් ඇන්ඩෘස් ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කළේ ය. ඔහුගේ නිර්මාණය  පිළිඹඳ ඔහුට ආඩම්බර වු අතර 1910 දිනක රාත්‍රියේ දී ඔහුගේ අනෙක් දරුවන් වන ඔලිම්පික් සහ ටයිටැනික් පෙන්වීමට ඇන්ඩෘස් තම ගැබිනි බිරිඳව නැව් තටාකාංගනයට කැඳවාගෙන ගියේ ය. 

උදාවූයේ 1911 මැයි 31 වන දිනයි. පිරී සාමිවරයා,ඉස්මායි සහ වයිට් ස්ටාර් හි මූල්‍ය පාලනය අත්පත් කරගත් ඇමරිකානු කෝටිපතියෙකු වන ජේ. පී.  මෝර්ගන්  ඇතුළුව තවත් ලක්ෂයක පමණ පිරිසක්  ටයිටැනික් නෞකාව දියත් කිරීමේ උත්සවය වෙනුවෙන්  රැස්ව සිටි අතර පිරී සාමිවරයා ලබාදුන් සංඥාවත් සමඟ තබා  තිබූ ආධාරක ඉවත්කොට නෞකාව ලාගන් ගං දිය සිපගත් මොහොතේ දී සියල්ලෝම ඉතා සතුටින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.

Leave a Reply