පළමු විද්‍යාඥයන්

විද්‍යාත්මක දෘෂ්ටියක් ඇති පළමු දාර්ශනිකයන් ක්‍රි.පූ 6 සහ 5 වන සියවස් වලදී පුරාණ ග්‍රීක ලෝකයේ ක්‍රියාකාරී විය. ක්‍රි.පූ. 585 දී මිලේටස්හි (Miletus) තේල්ස් (Thales) සූර්යග්‍රහණයක් පුරෝකථනය කළේය.  ඉන් වසර 50 කට පසු පයිතගරස් (වර්තමානයේ දකුණු ඉතාලි ප්‍රදේශයේ) ගණිත පාසලක් ආරම්භ කළේය. එසේම සෙනෝෆෙන්ස් (Xenophanes), කන්දක් මත මුහුදු ජීවීන්ගේ සිප්පිකටු සොයා ගැනීමෙන් අනතුරුව, මුළු පෘථිවියම වරෙක මුහුදෙන් වැසී තිබිය යුතු යැයි තර්ක කළේය. ක්‍රි.පූ. 4 වන සියවසේදී සිසිලියේ (Sicily) එම්පෙඩොක්ලීස් (Empedocles) කියා සිටියේ පස, වාතය, ගින්න සහ ජලය සියල්ල තැනී ඇති චතුර්විධ මූලයන් වන බවයි. ඔහු තම අනුගාමිකයන් එට්නා ගිනිකඳු ආවාටය දක්වා කැඳවාගෙන ගිය අතර එහිදී ඔහු තමාා අමරණීය බව පෙන්වීම සඳහා ඒ තුළට පනින ලදී. අද දවස දක්වාම අප ඔහු සිහිපත් කරනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

තාරකා විද්‍යාඥයින්

මේ අතර, ඉන්දියාවේ, චීනයේ සහ මධ්‍යධරණි ප්‍රදේශවල මිනිසුන් විසින් ආකාශ වස්තූන්ගේ චලනයන්  සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරන ලදී.  ඔවුන් තාරකා සිතියම් නිර්මාණය කරන ලද අතර ඔවුන් එය අර්ධ වශයෙන් මුහුදින් ගමන් කිරීමේදී මාර්ගය සොයා ගැනීම සඳහා ආධාරකයක් වශයෙන් සකස් කර ඇත. එසේම ඔවුන් තාරකා සහ තාරකා පොකුරු නම් කිරීම් සිදු කළහ. එසේම ඔවුන් විසින් ස්ථාවරව පවතින තාරකා වලට සාපේක්ෂව නිරීක්ෂණය කිරීමේ දී,  අක්‍රමවත් මාර්ග වල ගමන් කරන තාරකා කිහිප කිහිපයක් නිරීක්ෂණයය කරන ලද අතර  ග්‍රීක ජාතිකයන් විසින් මෙම ඉබාගාතේ යන තරු “ග්‍රහලෝක” (planets) වශයෙන් හැඳින්වූහ. චීන ජාතිකයන් ක්‍රි.පූ. 240 දී හැලිගේ වල්ගා තරුව සහ ක්‍රි.පූ. 1054 කකුළු නිහාරිකාව (Crab Nebula) ලෙස වර්තමානයේ හා හඳුන්වන සුපර්නෝවාවක් (supernova)  නිරීක්ෂණය කර ඇත.

ප්‍රඥාවේ  මන්දිරය.

ක්‍රි.ව. 8 වන සියවසේ අගභාගයේදී අබ්බාසිඩ් කැලිෆේට් (Abbasid caliphate) (කැලිෆේට් – කාලිෆ් යන පදවි නාමය සහිත ඉස්ලාමීය භාරකරුවකුගේ නායකත්වය යටතේ වන ඉස්ලාමීය රාජ්‍යයකි.) හි නව අගනුවර වන බැග්ඩෑඩ් (Baghdad) හි විස්මිත පුස්තකාලයක් පිහිටුවීය. මෙය ඉස්ලාමීය විද්‍යාවේ හා තාක්‍ෂණයේ වේගවත් දියුණුවට හේතු විය. තාරකා වල පිහිටීම භාවිතා කරන නාවික උපකරණයක් වන තරික්සුව (astrolabe) ද ඇතුළුව තවත් බොහෝ සුවිශිෂ්ට යාන්ත්‍රික උපකරණ සොයා ගන්නා ලදී. අදිරසායනය (Alchemy) (ඇල්කෙමිය/අදිරසායනය යනු ස්වාභාවික දර්ශනයේ පුරාණ ශාඛාවක් වන අතර එය දාර්ශනික හා විද්‍යාත්මක දර්ශනයේ සම්ප්‍රදායක් වූ අතර අතර එය කි.ව පළමු සියවස් කිහිපයේ දී ග්‍රීක-රෝම ඊජිප්තුවෙන් ආරම්භ වී පසුව යුරෝපය, අප්‍රිකාව සහ ආසියාව පුරා ක්‍රියාත්මක විය.) සමෘධිමත් වූ අතර ආසවනය වැනි ශිල්පීය ක්‍රම දක්නට ලැබුණි. පුස්තකාලයේ විද්‍යාර්ථයන්  ග්‍රීසියෙන් සහ ඉන්දියාවෙන් ඉතාම වැදගත් පොත් සියල්ලම පාහේ එකතු කර අරාබි භාෂාවට පරිවර්තනය කළ අතර ඒ ඔස්සේ, බටහිර ජාතීන් විසින් පසුකාලීනව  “අරාබි” ඉලක්කම්,  මෙන්ම  ඉන්දියානුවන් විසින් දායාද කරන ලද “බිංදුව” ද ඇතුළත්ව  පැරැන්නන්ගේ අධ්‍යනයන් හි දැනුම උකහා ගන්නා ලදී.

නූතන විද්‍යාවේ උපත.

විද්‍යාත්මක සත්‍යය පිළිබඳ පල්ලියේ ඒකාධිකාරය බටහිර ලෝකයේ දුර්වල වීමට පටන් ගත් විට, එම ක්‍රියාදාමයට විශාල ජවයක් සපයමින්, ක්‍රි.ව 1543 දී පැවති තත්වය සහ මුලින්ම වෙනස් කරවන ඉතා ආන්දෝලනාත්මක කෘති දෙකක් වූ බෙල්ජියම් ජාතික ව්‍යවච්ඡේදකයෙකු වූ ඇන්ඩ්‍රියාස් වෙසේලියස් (Andreas Vesalius) විසින් මනුෂ්‍ය කාය විච්ඡේදනය පිළිබඳව අතිවිශිෂ්ට රූප සටහන් ද සහිතව විග්‍රහ කරන ලද ” De Humani Corporis Fabrica” කෘතිය හා එම වර්ෂයේම පෝලන්ත වෛද්‍යවරයකු වන නිකොලොස් කොපර්නිකස් (Nicolaus Copernicus) ගේ “De Revolutionibus Orbium Coelestium” යන කෘති ද්විත්වය පළ වූ අතර, කොපර්නිකස් විසින් සිය කෘතිය තුළින් සහස්‍රයකට පෙර ඇලෙක්සැන්ඩ්‍රියාවේ ටොලමි විසින් සොයා ගන්නා ලද, පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය පෙරළා දමා සූර්යයා විශ්වයේ කේන්ද්‍රය බව තදින් ප්‍රකාශ කළේ ය.

1600 දී ඉංග්‍රීසි වෛද්‍යවරයකු වූ විලියම් ගිල්බර්ට් (William Gilbert) විසින් “De Magnete” කෘතිය ප්‍රකාශයට පත් කරන ලද අතර, එමඟින් මාලිමා කටු උතුරට යොමු වන්නේ පෘථිවිය චුම්බකයක් වන නිසා බව ඔහු පැහැදිළි කරන ලදී. එසේම ඔහු පෘථිවියේ හරය යකඩ වලින් සෑදී ඇති බවටද තර්ක කරන ලදී. 1623 දී තවත් ඉංග්‍රීසි වෛද්‍යවරයකු වන විලියම් හාවි (William Harvey) පළමු වරට හදවත පොම්පයක් ලෙස ක්‍රියා කර ශරීරය පුරා රුධිරය ගෙන යන ආකාරය විස්තර කළේ ය. ඒ හරහා හාවි  විසින් වසර 1,400 කට ඉහත සිටි ග්‍රීක-රෝම වෛද්‍යවරයකු වන  ගෙලන් (Galen) දක්වා අතීතයට දිවෙන න්‍යායන් සදාකාලිකවම ඉවත්  කරන ලදී. 1660 ගණන් වලදී ඇන්ග්ලෝ-අයර්ලන්ත රසායන විද්‍යාඥයකු වූ රොබට් බොයිල් (Robert Boyle) විසින් රසායනික මූල ද්‍රව්‍යයක් යනු කුමක්ද යන්න අර්ථ දක්වමින් රචනා කරන ලද “Sceptical Chymist” යන කෘතිය ද ඇතුළත්ව ග්‍රන්ථ මාලාවක් රචනා කරන ලදී. ඒ හරහා රසායන විද්‍යාව (chemistry), ආදිරසානයනය නොහොත් ගුප්ත අල්කෙමිය (alchemy) ට වඩා වෙනස් වූ, ප්‍රත්‍යක්ෂමය විද්‍යාවක් වශයෙන් සිය උපත සනිටුහන් කරන ලදී.

බොයිල්ගේ සහායක ලෙස කලක් සේවය කළ රොබට් හූක් (Robert Hooke) 1665 දී ලොව වඩාත්ම අලෙවි වූ  ප්‍රථම  විද්‍යාත්මක ග්‍රන්ථය බවට පත්වූ “Micrographia” ග්‍රන්ථ රචනා කරන ලදී. මැක්කෙකු  සහ මැස්සෙකුගේ ඇස ආදිය විෂය වස්තූන් කරගනිමින් ඔහු ඉදිරිපත් කරන ලද රූප සටහන් මීට පෙර කිසිවෙකු දැක නැති අන්වීක්ෂීය ලෝකයක් විවර කළේය. පසුව 1687 දී  මෙතෙක් ලියැවී ඇති වැදගත්ම විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස බොහෝ දෙනෙක් සලකනු ලබන අයිසැක් නිව්ටන්ගේ ප්‍රින්සිපියා (Principia) නොහොත් “Philosophiæ Naturalis Principia Mathematica” ග්‍රන්ථය රචනා කෙරුණු අතර, චලිතය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන ලද නියම සහ විශ්වීය ගුරුත්වාකර්ෂණය පිළිබඳ මූලධර්මය සම්භාව්‍ය භෞතික විද්‍යාවට පදනම  සැපයීය.

මූලද්‍රව්‍ය, පරමාණු සහ පරිණාමය

18 වන ශත වර්ෂයේ දී ප්‍රංශ ජාතික රසායන විද්‍යාඥයෙකු  වූ ඇන්ටන් ලැවොසියර් (Antoine Lavoisier) පැරණි ෆ්ලොජිස්ටන්වාදය (theory of phlogiston)  බිඳ හෙළමින් දහනයේ දී  ඔක්සිජන් වල දායකත්වය සහ භූමිකාව සොයා ගන්නා ලදී. ඒ අනුව වැඩි කාලයක් නොගොස් නව වායූන් රාශියක් සහ ඒවායේ ගුණාංග විමර්ශනය කරන්නට යෙදිණි. වායුගෝලය තුළ ඇති වායූන් පිළිබඳව කල්පනා කිරීමේ දී බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යාඥ (meteorologist) ජෝන් ඩෝල්ටන් (John Dalton) විසින් සෑම මුලද්‍රව්‍යයක් ම සුවිශේෂී පරමාණු වලින් සමන්විත වන බව ප්‍රකාශ කරන්නට යෙදුණු අතර, ඒ හරහා පරමාණුක ස්කන්ධය (atomic weights) පිළිඹඳ සංකල්පය ද ඉදිරිපත් කරන ලදී. ඉන්පසු රුසියානු ජාතික නව නිපැයුම්කරුවකු වූ දිමිත්‍රි මෙන්ඩලීෆ් (Dmitri Mendeleev) පොදුවේ පිළිගන්නා ලද ආවර්තිතා වගුව සකස් කරන අතර, ජර්මානු ජාතික රසායන විද්‍යාඥයකු වූ ඕගස්ට් කැකුලේ (August Kekulé) විසින් අණුක ආකෘතියෙහි (molecular structure) පදනම වැඩිදියුණු කරන ලදී.

1799 දී ඉතාලියේ, ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා (Alessandro Volta) විසින් විද්‍යුත් බැටරිය සොයා ගැනීම නව විද්‍යා ක්ෂේත්‍රයන් විවර කළ අතර  ඒ ඔස්සේ යමින් ඩෙන්මාර්ක ජාතික භෞතික විද්‍යාඥයකු වන හාන්ස් ක්‍රිස්ටියන් ඕර්ස්ටෙඩ් (Hans Christian Ørsted) සහ ඔහුගේ බ්‍රිතාන්‍ය ජාතික සමකාලීනයකු වන මයිකල් ෆැරඩේ (Michael Faraday) නව මුලද්‍රව්‍යයන් සහ විද්‍යුත් චුම්බකත්වය සොයා සොයාගැනීම, විද්‍යුත් මෝටරය සොයාගැනීම් පිණිස මං තැනී ය. මේ අතරතුර සම්භාව්‍ය භෞතික විද්‍යාවේ අදහස්, වායුගෝලය, තාරකාවන්, ආලෝකයේ වේගය සහ තාපයේ ස්වභාවය මෙන්ම තාප ගති විද්‍යාව දක්වා භාවිතා වන්නට විය.

භූ විද්‍යාඥයන් (Geologists) විසින් පාෂාණ ස්ථර අධ්‍යයනය කරමින්, පෘථිවියේ අතීතය ප්‍රතිනිර්මාණය කරන්නට පටන් ගත්හ.  මිහිමතින් සදහට ම වඳ වී ගිය සත්ව විශේෂයෙන් ගේ ෆොසිල (fossil) කොටස් සොයා ගැනීම ආරම්භ කිරීමත් සමගම පාෂණීය ධාතු විද්‍යාව (Paleontology) විලාසිතාවක් බවට පත්වන්නට විය. අධ්‍යාපනය නොලත්, බ්‍රිතාන්‍ය ජාතික දැරියක වන මේරි ඇනින් (Mary Anning), පොසිල කොටස් එකතු  කරන්නියක් වූ වශයෙන් ලෝක ප්‍රසිද්ධියට පත් වූවා ය. ඩයිනෝසරයන් සමග පරිණාමය පිළිබඳ අදහස් ජනිත වූ අතර  ඒ අතරින් බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥ (naturalist) චාල්ස් ඩාවින් (Charles Darwin) ගේ අදහස් සහ ජීවයේ සම්භවය මෙන්ම ජීවිය පිළිබඳ පරිසර විද්‍යාව සම්බන්ධයෙන් වූ නව න්‍යායන් වඩාත් ප්‍රකට විය.

සංශයතාව (Uncertainty) සහ අනන්තය (infinity)

විසිවන සියවස් ආරම්භයේ දී තරුණ ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් (Albert Einstein) විසින් සම්භාව්‍ය භෞතික විද්‍යාව කම්පනයට පත් කරමින්, නිරපේක්ෂ කාලය හා අවකාශය පිළිබඳ න්‍යායන් හි අවසානය සනිටුහන් කරමින්, ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය (theory of relativity) ඉදිරිපත් කළේ ය. පරමාණුව සම්බන්ධයෙන් නව ආකෘති ඉදිරිපත් විය එසේම ආලෝකය අංශුවක් ලෙස මෙන්ම තරංගයක් ලෙස ද යන ආකාර දෙකෙන්ම ක්‍රියාකරන  බව පෙන්වා දෙන ලදී.  එසේම තවත් ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වූ වර්නර් හයිසන්බර්ග් (Werner Heisenberg) විසින් විශ්වය ඒකාකාරීව නොපවතින බව පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත්, පසුගිය ශතවර්ෂයේ වඩාත්ම සිත් ගත් දෙය නම්, තාක්ෂණික දියුණුව නිසා, වෙන කවරදාටත් වඩා  නිරවද්‍යතාවයෙන් ඉහළ විශිෂ්ට අදහස් සමග විද්‍යාවට කොපමණ වේගයෙන් ඉදිරියට යාමට හැකි වූයේ කෙසේද යන්නයි. මේ වන විට වෙන කවරදාටත් වඩා ප්‍රබල අංශු ඝට්ඨක උපකරණ ( particle colliders) මගින් පදාර්ථයේ නව මූලික ඒකකයන් අනාවරණය විය. ප්‍රබල දුරේක්ෂ මගින් විශ්වය ප්‍රසාරණය වන බව සහ එය මහා පිපිරුමකින් (Big Bang) ආරම්භ වූ  බව මේ වන විට පෙන්නුම් කර ඇත. ඒ සමඟම කළු කුහර (black holes) පිළිබඳ අදහස මුල් බැස ගැනීමට පටන් ගත්තේය. අඳුරු පදාර්ථ (Dark matter) හා අඳුරු ශක්තිය (Dark Energy), ඒවා කුමක් වුවත් විශ්වය පුරවන බවක් පෙනෙන්නට තිබූ අතර, තාරකා විද්‍යාඥයන්, තාරකා වටා කක්ෂගතව සිටින නව ග්‍රහලෝක සොයා යන්නට වූ අතර, ඒවායින් සමහරක් ජීවය පවතින්නට පවා ඉඩ ඇත.  බ්‍රිතාන්‍ය ගණිතඥ ඇලන් ටියුරින් (Alan Turing) විශ්වීය පරිගණක යන්ත්‍රයක් ගැන අදහස් ඉදිරිපත් කළ අතර ඉන් වසර 50ක් තුල වර්තමානය වන විට අපට පුද්ගලික පරිගණක, ලෝක ව්‍යාප්ත අන්තර් ජාලයක් සහ ස්මාර්ට් ඡංගම දුරකථන අප අතට ලැබී ඇත.

ජීවයේ රහස්

ජීව විද්‍යාවේදී, වර්ණදේහ ප්‍රවේණියේ පදනම ලෙස පෙන්වන ලද අතර ජාන ( DNA) වල රසායනික ව්‍යුහය විකේතනය කරන ලදී. ඊට පසු වසර හතළිහකට පමණ පසුව මෙය මානව ජානමය ව්‍යාපෘතියට මඟ පෑදූ අතර එය ඉතා අසීරු කාර්යයක් ලෙස දක්නට ලැබුණු ද, පරිගණකවල උපකාරයත් සමඟ එකී ක්‍රියාවලිය ඉදිරියට යත්ම, වඩාත් වේගවත් වන්නට විය. ජාන වල අනුක්‍රම නිර්ණය කිරීම මේ වනවිට විද්‍යාගාරයන්හි නිතිපතා කෙරෙන සාමාන්‍ය කාර්යයක් බවට පත්ව ඇත. ජාන චිකිත්සාව බලාපොරොත්තුවක සිට යථාර්ථය කරා ගමන් කර ඇති අතර පළමු ක්ෂීරපායී ක්ලෝනය මේ වන විට බිහිකර ඇත.

වර්තමාන විද්‍යාඥයින් ඉහත දක්වා ඇති  විද්‍යාත්මක ජයග්‍රහණයන් සේම දක්වා නොමැති වෙනත් විද්‍යාත්මක ජයග්‍රහණ මත පදනම්ව, සත්‍යය සොයා යාමේ නොනිමි චාරිකාවේ දිගින් දිගටම නිමග්නව සිටී. එහිදී සෑම විටම පිළිතුරු වලට වඩා ප්‍රශ්න ඇති බව පෙනේ,  නමුත් එසේ දිගින් දිගටම මතුවන ප්‍රශ්න හමුවේ බිහිවන අනාගත සොයා සොයාගැනීම් නිසැකවම අප සැම මවිතයට පත් කරවන ඇත. ඒ ආකාරයෙන් විද්‍යාවේ වර්ධනය මේ දක්වා සනිටුහන්ව ඇති අතර එය මින් නොනැවතී ඉදිරියටද වර්ධනය වෙමින් අද සිහින, හෙට එළිදකිනු ඇත.

Leave a Reply