වරක් 1990 දශකයේ මුල් භාගයේදී, STS-5 සහ STS51-A අභ්‍යවකාශ ෂටල විශේෂඥයෙකු වූ  ජෝශප් ඇලන් (Joseph Allen)  ඔහුගේ  එක්තරා දේශනයකදී, පුහුණුවීම්වල යෙදෙන ගගනගාමීන්, ඔවුන්ගේ ජීවිත ආධාරක පද්ධතිය ගැන තමන්ට හැකි සෑම දෙයක්ම ඉගෙනීමේ අවශ්‍යතාවය, ඔවුන් තුළට ගෙන ආ ආකාරයත්, ඉන්පසු එය රැකබලා ගැනීමට හැකි සෑම දෙයක්ම කරනා වූ ආකාරයත් පිළිඹඳ කරුණු පැපැහැදිලි කරමින් සිටින ලදී. එම අවස්ථාවේ දී මීට වසර ගණනාවකට පෙර ඇපලෝ වැඩසටහන අතරතුරදී ගන්නා ලද පෘථිවියේ විශාල ඡායාරූපයක් වේදිකාවේ විය.  ඔහු එය පෙන්වා, අර්ථවත් සිනහවකින් යුතුව,  “ අන්න එය, ජීවිත ආධාරක පද්ධතිය. ඒ පිළිබඳව ඔබට හැකි සෑම දෙයක්ම ඉගෙන ගෙන එය රැකබලා ගැනීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන්න.” යැයි පැවසී ය.

පෘථිවියේ ජීව ආධාරක පද්ධතිය වන සාගරයේ එකී ක්‍රියාකාරීත්වය මේ වන විට අසාර්ථක වෙමින් පවතී. නමුත් ඒ පිළිඹඳව අවධානය යොමු කරන්නේ කවුද? අපේ ඉතිහාසය පුරාම, බොහෝ දුරට නිල් පැහැයෙන් යුත් ඒ සුන්දර ස්වාභාවික ලෝකය සලකනු ලැබුවේ, එකල අර්ථවත් යැයි පෙනෙන අරමුණු සඳහා පරාජය කළ යුතු, හීලෑ කළ හැකි හෝ වෙනත් ආකාරයකින් භාවිතා කළ යුතු දෙයක් ලෙස ය. මානව සංස්කෘතිය තුළ ගැඹුරින් මුල්බැස ගෙන පැවැති ආකල්පය වූයේ, සාගරය අතිශය විශාල බවත්, එය ඕනෑම දේකට ඔරොත්තු දෙන බවත්, එබැවින් අප ඉන් කොපමණ ප්‍රමාණයක් ඉවතට ගත්තද, අප එය කොපමණ ප්‍රමාණයකින් නැවත පිර වුවද එය ගැටලුවක් නොවිය යුතු බවත් ය. 

නමුත් 20 වන සියවසේ දී එයින් පරිබාහිරව අපව නව චින්තනයකට ඇද දැමිය හැකි අන්දමට කාරණා දෙකක් වෙනස් විය.

පළමුවෙන්ම, සාගරයේ ස්වභාවය සහ ලෝකය ක්‍රියා කරන ආකාරය කෙරෙහි එහි අදාළත්වය පිළිබඳව පෙර පැවති ඉතිහාසයට වඩා, වැඩි යමක් සොයා ගන්නා ලදී. දෙවනුව, එකම පටු කාල පරිච්ඡේදයක් තුළ, මිනිසාගේ  ක්‍රියාකාරීිත්වය පෙර පැවති ඉතිහාසයට වඩා, සාගර පද්ධතිවලට මහත් විනාශයක් සිදුකර ඇති අතර එම විනාශය සිදුවන වේගය ක්‍රමිකව වැඩි වෙමින් පවතින බවත් අවබෝධ කර ගන්නා ලදී.

ආපසු හැරී බලන විට 20 වන ශතවර්ෂයේ ආරම්භයට පෙර සිටම, නොදැනුවත්වම හෝ මිනිසුන් ඉතා දරුණු ලෙස, මාළු, ක්ෂීරපායින්, කුරුල්ලන්, කැස්බෑවන්, පොකිරිස්සන්, බෙල්ලන් සහ වෙනත් සාගර ජීවීන්ගේ ගහනය විනාශ කිරීමෙන්, සාගර යේ මුලික ස්වභාවය වෙනස් කොට ඇති බව පැහැදිලිව පෙනී යයි. එසේම වායුගෝලයට මුදාහරින අහිතකර ද්‍රව්‍යයන් අවසානයේ සාගරයට එක් වීම මගින් මෙම වෙනස්වීම් තවදුරටත් සිදුවෙමින් පවතී. ජැක් කූස්ටෝ (Jacques Cousteau) වර්ෂ 1953, The Silent World (නිහඬ ලෝකය) නම්  කිමිදීම පිළිබඳ ඔහුගේ පුරෝගාමී කතාව ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිට පවා, හිතාමතාම අපද්‍රව්‍ය බැහැර කිරීම සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය පිටාර ගැලීම මෙන්ම අතිරික්ත පොහොර සහ පළිබෝධනාශක දැනටමත් සාගරයේ ස්වභාවය කෙරෙහි බරපතල බලපෑමක් සිදු කර ඇත. එහෙත් එතැන් පටන්, සාගරයේ මෙම පිරිහීම, විනාශය ඉතා පුදුම එලවන සුළු ලෙස වේගවත් වී ඇත්තේ. මීට අඩ සියවසකට පෙර සිටියාක් මෙන් දෙගුණයකට වඩා වැඩි මිනිසුන්ගේ බලපෑම් සහ කලින් ප්‍රවේශ විය නොහැකි ප්‍රදේශවල ස්වභාවික සම්පත් සූරාකෑමට ඉඩ සලසා දුන්, නව තාක්ෂණයන් ගේ සංවර්ධනය කිරීමත් සමඟ ය.

සිතන්න,

විසිවන ශතවර්ෂයේ මැද භාගයේ සිට සාගරයේ ජීවත් වන සතුන් ටොන් මිලියන සිය ගණනක් මුහුදෙන් ඉවත් කර ඇති අතර, අපද්‍රව්‍ය ටොන් මිලියන සිය ගණනක් ඒ තුළට වත් කර ඇත.

1950 ගණන්වල සිට කලක සාගරයට ඉතා සුලභ වූ bluefin tuna, Atlantic cod, American eel සහ තවත් මෝර විශේෂ ඇතුළු සමහර මත්ස්‍ය විශේෂයන්ගෙන් සියයට අනූවක් පමණ මේ වන විට මිනිසා සාගරයෙන් තුරන් කර ඇත.

විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රම – (පුපුරණ ද්‍රව්‍ය හා ලෝන්ග්ලයින් ආදී දැල් භාවිතය), සාගරයේ භාවිත කරන කැණීම් යන්ත්‍ර – ආදිය මඟින් දිගින් දිගටම වැඩිපුර පරිභෝජනය පමණක් නොව, සාගර ජීවීන්ගේ වාසස්ථානද විනාශ කර ඇත. එසේම සෑම වසරකම කාර්මික මසුන් ඇල්ලීම නිසා සමුද්‍ර ක්ෂීරපායින්, මුහුදු පක්ෂීන් සහ මුහුදු කැස්බෑවුන් සිය දහස් ගණනක් මරා දමන අතර, ඒ හා සමඟම මසුන් සහ අපෘෂ්ඨවංශික සතුන් මිලියන සිය ගණනක් ඉතා සාපරාධී ලෙස මරා දමයි.

1950 දශකයේ සිට ලෝකයේ පුරාවට වන නොගැඹුරු කොරල් පර වලින් අඩක් මේ වනවිටත් විනාශ වී හෝ බරපතළ පරිහානියකට පත්ව ඇත. බොහෝ කැරිබියානු ප්‍රදේශවල සියයට 80 ක් පමණ කොරල් පර මේ වන විට මිය ගොස් ඇත.

මේ වන විට දශක ගණනාවක්, සියවස් ගණනක් වියපත් මසුන් අල්ලා ගැනීම අරමුණු කරගත් නව ගැඹුරු ට්‍රෝලන තාක්ෂණයන් මගින් ගැඹුරු කොරල් පර විනාශ වෙමින් පවතී. එසේ විනාශ ව ඇති කොරල් අවුරුදු දහස් ගණනක් පැරණි ය.

මෑත දශක කිහිපය තුළ වෙරළබඩ ප්‍රදේශවල “මළ කලාප” 400 කට වැඩි ප්‍රමාණයක් පිහිටුවා ඇති අතර සාගරයේ සං‍යුතියේ වෙනස්කම් පිළිබිඹු කරමින් එම සංඛ්‍යාව වැඩි වෙමින් හා බිහි වීම වේගවත් වෙමින් පවතී.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාසයන් ගොඩබිම මෙන් ම, සාගර පද්ධති හා සාගර ජීවීන් කෙරෙහි බලපාන අතර එම බලපෑම් වායුගෝලයට හා භෞමික පද්ධතිවලට බලපෑම් කරයි. පෘථිවියේ දේශගුණය හා කාලගුණය මූලිකවම හසුරවන්නා වන සාගරයේ, වන මෙම වෙනස්වීම් ගෝලීය වශයෙන් බලපෑම් ඇති කරනු ලබයි.

CO2 වැඩි වීම නිසා සාගරයේ PH අගය (ක්ෂාරීයතාවයේ හෝ ආම්ලිකතාවයේ මිනුම)වෙනස් වෙමින් කාබොනික් අම්ලය බවට පත්වෙමින් පවතී. එහි ප්‍රතිවිපාක කාර්බනේට් කවච දරණ කොරල් පර, මොලුස්කාවන් සහ ප්ලවාංග සඳහා වඩා තීව්‍ර ලෙස බලපෑම් ඇති කරන නමුත්, එම වෙන්ස්කම් සමස්තයක් වශයෙන් ගත් කළ සාගරයේ සියලුම ජීවීන් හට බලපෑම් ඇති  කරනු ලබයි.

පවතින වඩාත්ම බරපතළ ගැටලුව නම්, සාගරය පිළිබඳව සහ සෑම තැනකටම, සෑම අයෙකුටම, සාගරයේ පවතින වැදගත්කම පිළිබඳව ගැඹුරු, පුළුල් දැනුවත්කමක් මහජනයා තුල නො මැති වීමයි.  එසේම සාගරය ගවේෂණය කිරීම කෙසේ වෙතත්, අවම වශයෙන් මිනිසා විසින් දැක ඇත්තේ සමස්ත සාගරයෙන් 5% කටත් අඩු ප්‍රමාණයක් පමණි. එවැනි තත්වයක් තුළ මේ වන විට විද්‍යාඥයන් සාගරය පිළිබඳව අවබෝධ කොට ගෙන ඉදිරිපත් කර ඇති දැනුම පවා ඉතා පුළුල් ලෙස මහජනයාගේ පිළිගැනීමට, ප්‍රසාදයට ලක් ව නො මැති අතර විශේෂයෙන්ම එම දැනුම, බොහෝ ප්‍රතිපත්ති සම්පාදක නිල්ධාරීන් විසින් ප්‍රතිපත්ති සැකසීමේදී සැලකිල්ලට ගනු ලැබීමක් දක්නට ලැබෙන්නේ ද නැත.

ඉතින් සාගරය වැදගත් වන්නේ ඇයි?

සාගරයෙන් ලැබෙන්නා වූ ආර්ථික භාවිතයන් සම්බන්ධයෙන්- තෙල්, ගෑස්, ඛනිජ ලවණ, මිරිදිය හා වන ජීවීන් ලබා ගැනීම, ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරය, දේපළ වෙළඳාම් වැඩි දියුණු කිරීම සහ තවත් බොහෝ දේ.

සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් – වෙරළබඩ දූෂණයට සම්බන්ධ කොලරාවේ සිට ජලයෙන් බෝවන රෝග වැඩි වෙමින් පවතී, වෙරළබඩ ජලයේ විෂ සහිත ඇල්ගී විශේෂ සෑදීම, මහජනයා විසින් පරිභෝජනය කරන සාගර ජීවීන් තුළ රසදිය ආදී බැර ලෝහ වර්ග සහ අනෙකුත් දූෂක තැන්පත් වීම හරහා එම ද්‍රව්‍ය මිනිසුන් තුළට ඇතුළු වීම, තැන්පත් වීම සහ ඒ හේතුවෙන් විවිධ මාරාන්තික රෝග හටගැනීම.

ආරක්ෂාව සම්බන්ධයෙන් –  යුධමය කටයුතු, වරායවලට ප්‍රවේශ වීම, මසුන් ඇල්ලීම, මිනිසුන් සහ භාණ්ඩ සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා සාගරය භාවිතා කිරීමේ අයිතිවාසිකම් සඳහා තරඟකාරිත්වය වැඩි වීමත් සමඟම ආරක්ෂාව සම්බන්ධයෙන් ද සාගරය වැදගත් වේ.

නමුත් සියල්ලටම වඩා, ලෝකය නිල් පාට වීම වැදගත් වන්නේ අපගේ ජීවිත රඳා පවතින්නේ ජීවමාන සාගරය මත වන බැවිණි. එය හුදෙක් පාෂාණ හා ජලය නොව, ලෝකය මානව වර්ගයාට හිතකර ස්ථාවර මාවතක රඳවා තබා ගන්නා වූ ස්ථාවර, ඔරොත්තු දෙන, ජෛව විවිධත්වයෙන් යුතු ජීවන පද්ධතිවලින් සමන්විත වීම නිසා ය.

ඒ අනුව පවතිවතින විශාල  ප්‍රශ්නය නම් අප රැක බලාගන්නා එම නිල් ලෝකය නො එසේ නම් පෘථිවියේ හදවත වන මහා සාගරය, රැක බලාගැනීම සඳහා අපට කළ හැක්කේ කුමක්ද යන්න යි.

Leave a Reply