ඕනෑම කෙනෙකුට, ඕනෑම අවස්ථාවක, තමන්ට ඕනෑ දෙයක් ලබා ගැනීමේ හැකියාවක් පැවතියේ නම්, දේශපාලනය  යන්න කිසිදා හට නො ගන්නට තිබිණි. දේශපාලනය ලෙස හැඳින්වෙන සංකීර්ණ ක්‍රියාදාමයේ නිශ්චිත අරුත කුමක් වුවත්,  මානව අත්දැකීම් කිසි විටෙකත් අපට අවශ්‍ය සියල්ල ලබා නො දෙන බව පැහැදිලි වේ. ඒ වෙනුවට, අපට දේවල් වෙනුවෙන් තරඟ කිරීමට, අරගල කිරීමට, සම්මුතියකට හා සමහර විට සටන් කිරීමට සිදු වේ. එසේ කිරීම තුළින්, අපගේ අයිතිවාසිකම් පැහැදිලි කිරීමට සහ සාධාරණීකරණය කිරීමට සහ අන් අයගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අභියෝග කිරීමට,  පරස්පරතා මතු කිරීමට, හෝ පිළිතුරු ලබා දීමට අප විසින් භාෂාවක් වර්ධනය කරනු ලබයි. මෙය තනි තනි පුද්ගලයින්ගේ හෝ පුද්ගල කණ්ඩායම් වල අභිවෘද්ධිය සඳහා වූ භාෂාවක් විය හැකි ය. එසේත් නැත්නම් එය  අයිතිවාසිකම් සහ නිදහස සහ යුක්තිය වැනි සාරධර්මවල භාෂාවක් විය හැකි ය. එහෙත් දේශපාලනයේ ක්‍රියාකාරිත්වයේ කේන්ද්‍රය වන්නේ, එහි ආරම්භයේ සිට ම දේශපාලන අදහස් හා සංකල්ප වර්ධනය කිරීමයි. මෙම අදහස් අපගේ අයිතිවාසිකම් කියා පෑමට සහ අභිවෘද්ධිය ආරක්ෂා කර ගැනීමට ඉවහල් වේ.

නමුත් දේශපාලනය පිළිබඳ මෙම චිත්‍රය සහ දේශපාලන අදහස්වලට ඇති ස්ථානය, දේශපාලනය පිළිබඳ ව සමස්ත කතාව ම නොවේ. ඉන් අදහස් වන්නේ, දේශපාලනය, කාට කුමක්, කොතැනක දී, කවදා, කෙසේ, ලැබෙන්නේ ද යන ප්‍රශ්න වලට සාරාංශ ගත කොට දැක්විය හැකි බවයි.

නිසැකව ම දේශපාලන ජීවිතය, එදිනෙදා ජීවිතයේ දී එල්ල වෙන අභියෝගයන්ට සහ සාමූහික ක්‍රියාව බොහෝ විට තනි ක්‍රියාවකට වඩා හොඳ බව පිළිගැනීමට, අත්‍යවශ්‍ය ප්‍රතිචාරයක, අංගයක් වේ. එහෙත් දේශපාලන චින්තනයේ තවත් සම්ප්‍රදායක්, “දේශපාලනය යනු හුදෙක් ද්‍රව්‍ය හිඟ වූ විට, එම ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාලීමේ අරගලය නො වේ.”, යන අදහස ඉදිරිපත් කරන ලද පුරාණ ග්‍රීක චින්තකයෙකු වන ඇරිස්ටෝටල් (Aristotle) සමඟ සම්බන්ධ වේ. සංකීර්ණ සමාජයන් බිහි වූ පසු, පාලනය කළ යුත්තේ කවුද? දේශපාලකයන්ට තිබිය යුතු බලතල මොනවා ද ?, පවුල, හෝ ආගමික අධිකාරියේ හිමිකම් වැනි අනෙකුත් පාලන ප්‍රභවයන් සමඟ විට, දේශපාලකයන් ගේ නීත්‍යානුකූලභාවය ට වන හිමිකම සසඳන්නේ කෙසේ ද ? ආදි වූ ලෙස විවිධ ප්‍රශ්න පැන නැඟෙයි. ඇරිස්ටෝටල් පැවසුවේ, මිනිසා දේශපාලනික ව ජීවත් වීම ස්වාභාවික බවයි, එය හුදෙක් ම, මිනිසා හුදකලාව සහ වෙන් ව සිටිනවාට සාපේක්ෂව, වඩාත් හොඳින් සංකීර්ණ සමාජයක සිටින බවට වන නිරීෂණයක් පමණක් නො වන අතර, එය මහජනතාව ගේ ප්‍රශ්න වලට අදාළ වන කාරණා පිළිබඳව තීරණය කළ යුතු ආකාරය පිළිබඳව සුදුසු දැක්මක් දැරීමට මිනිසාට ඇති අයිතිය ද හුවා දක්වයි. ඒ අනුව දේශපාලනය යනු මිනිසුන් විසින් තමන් ජීවත් වන්නා වූ නීති සහ ඔවුන් සාමූහික ව හඹා යායුතු අරමුණු තීරණය කරන උදාර ක්‍රියාකාරකමක් ලෙස දැක්විය හැකි ය.

දේශපාලනික සදාචාරය.

දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීමට සියලු මිනිසුන්ට ඉඩ දිය යුතු යැයි ඇරිස්ටෝටල් සිතුවේ නැත. ඔහුගේ ක්‍රමය තුළ කාන්තාවන්, වහලුන් සහ විදේශිකයන් තමන් සහ අන් අය පාලනය කිරීමේ අයිතියෙන් පැහැදිලිවම බැහැර කරනු ලැබී ය.  එසේ වුවද, දේශපාලනය යනු එක්තරා නිෂ්චිත පොදු අරමුණු කරා යොමු වූ අද්විතීය සාමූහික ක්‍රියාකාරකමක් යන ඔහුගේ මූලික අදහස අදටත් එලෙසම  පවතී. නමුත් එහි අවසානය වන්නේ කුමක්ද? පුරාණ ලෝකයේ සිට බොහෝ චින්තකයින් සහ දේශපාලන චරිත, දේශපාලනයට අත් කරගත හැකි හෝ අත් කරගත යුතු අරමුණු පිළිබඳව විවිධ අදහස් ගොඩනඟා ගෙන ඇත. මෙම ප්‍රවේශය දේශපාලන සදාචාරය ලෙස හැඳින්වේ.

සදාචාරවාදීන් සඳහා, දේශපාලන ජීවිතය යනු, ආචාර ධර්ම හෝ සදාචාර දර්ශනයේ ශාඛාවකි. එබැවින් සදාචාරාත්මක දේශපාලන චින්තකයින්ගේ කණ්ඩායමේ බොහෝ දාර්ශනිකයන් සිටීම පුදුමයක් නොවේ. දේශපාලන සදාචාරවාදීන් තර්ක කරන්නේ දේශපාලනය සැලකිය යුතු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යොමු කළ යුතු බවයි, නැතහොත් යම් යම් දේ ආරක්ෂා කිරීම සඳහා දේශපාලන විධිවිධාන සංවිධානය කළ යුතු බවයි. යුක්තිය, සමානාත්මතාවය, නිදහස, සතුට, සහෝදරත්වය හෝ ජාතික ස්වෛරීභාවය වැනි දේශපාලන වටිනාකම් මේ අතර වේ. එසේම ඉංග්‍රීසි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා දාර්ශනිකයෙකු වූ තෝමස් මෝර් (Thomas More) විසින් 1516 දී ප්‍රකාශයට පත් කරන ලද, පරමාදර්ශී රාජ්‍යයක් පිළිඹඳව පරිකල්පනයක් වූ මනෝරාජ්‍ය (Utopia) ග්‍රන්ථය තුළින් ඉතා රැඩිකල් ලෙස “උටෝපියා ” (Utopias)ලෙස හැඳින්වෙන පරමාදර්ශීය දේශපාලනික සමාජ ඒකකයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇත. මනෝරාජික දේශපාලන චින්තනය, පුරාණ ග්‍රීක දාර්ශනික ප්ලේටෝගේ ජනරජය (The Republic) නම් ග්‍රන්ථයේ ද අන්තර්ගත වූ අතර, එම සංකල්පය එතරම් අතීතයකට දිව යයි. නමුත් තවමත් එය, අදහස් ගවේෂණය කිරීම සඳහා රොබට් නොසික් (Robert Nozick) වැනි නූතන චින්තකයින් භාවිතා කරයි. සමහර න්‍යායවාදීන් මනෝරාජික දේශපාලන චින්තනය භයානක ක්‍රියාවක් ලෙස සලකන්නේ, අතීතයේ දී එය ඒකාධිපති ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීමට හේතු වූ බැවිනි. කෙසේ වෙතත්, මනෝරාජික චින්තනය, වඩා හොඳ සමාජයක් කරා ගමන් කිරීමේ ක්‍රියාවලියක කොටසක් වන අතර,  බොහෝ චින්තකයින් එය භාවිතා කරන්නේ සාරධර්ම සොයායාම හෝ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට ය .

දේශපාලන යථාර්ථවාදය.

දේශපාලන චින්තනයේ තවත් ප්‍රධාන සම්ප්‍රදායක් වන්නේ සතුට හෝ නිදහස වැනි සදාචාරාත්මක හෝ ආචාරධර්මීය වටිනාකමක් ලබා දීම සඳහා, දේශපාලනය පවතින බවට ඇති අදහස, ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වෙනුවට ඔවුන් තර්ක කරන්නේ, දේශපාලනය බලය පදනම් කරගනිමින් පවතින් බවය. බලය යනු අරමුණු සාක්ෂාත් කර ගැනීම, සතුරන් පරාජය කිරීම සහ සම්මුතීන් පවත්වා ගැනීම යන මාධ්‍යයන් වේ. එසේම, බලය අත්පත් කර ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නො මැතිව, සාරධර්ම කොතරම් උතුම් වුවත් ඒවා නිෂ්ඵල ය.

සදාචාරයට පටහැනිව බලය කෙරෙහි අවධානය යොමු කරන චින්තකයින් කණ්ඩායම යථාර්ථවාදීන් ලෙස විස්තර කෙරේ. යථාර්ථවාදීන් බලය, ගැටුම් සහ යුද්ධය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කරන අතර, බොහෝ විට මිනිස් අභිප්‍රේරණයන් පිළිඹඳ ව කිසිඳු සැළකිල්ලක් නොදක්ව යි. බලය පිළිබඳව ශ්‍රේෂ්ඨතම ඉතාලි ජාතික නිකොලායි මැකියාවෙලි (Niccolò Machiavelli) සහ ඉංග්‍රීසි ජාතික තෝමස් හොබ්ස් (Thomas Hobbes) ය. ඔවුන් දෙදෙනාම පිළිවෙලින් 16 වන සහ 17 වන සියවස්වල සිවිල් යුද්ධය හා ව්‍යාකූල කාල පරිච්ඡේදයන් තුළ ජීවත් වූහ. මිනිස් ස්වභාවය පිළිබඳ මැකියාවෙලිගේ මතය අවධාරණය කරන්නේ මිනිසුන් “ගුණමකු බොරුකාරයින්” (ungrateful liars) වන අතර උතුම් හෝ ගුණවත් අය නොවන බවයි. එසේම බලය ක්‍රියාත්මක කිරීමට එහා ගිය දේශපාලනික අරමුණු පිළිබඳව ඔහු අනතුරු අඟවයි. හොබ්ස් සම්බන්ධයෙන් ගත් කල, නොපනත්, “ප්‍රකෘති ස්වභාවය ” (state of nature) යනු මිනිසා එකිනෙකා සමග ඇණ කොටා ගනිමින් තිරිසනුන් ආකාරයෙන් ජීවත්වන මිනිසාගේ සැබෑ තත්තවය පෙන්නුම් කරන්නකි. ඔහුට අනුව පරම බලධාරියකු විසින්, “සමාජ සම්මුතියක්” (social contract) තුළින් මෙම කෲර ස්වභාවයෙන් සමාජය බේරා ගැනීම සඳහා පරම බලය ක්‍රියාත්මක කරයි. එහෙත් බලය පිළිබඳ සැලකිලිමත් වීම මුල් නූතන යුරෝපයට පමණක් ආවේණික නොවේ. 20 වන සියවසේ බොහෝ දේශපාලන චින්තනයන් බලයේ ප්‍රභවයන් හා ක්‍රියාකාරීත්වය පිළිබඳව සැලකිලිමත් වී ඇත.

නැණවත් උපදෙස්.

යථාර්ථවාදය සහ සදාචාරවාදය යනු සමස්ත දේශපාලන අත්දැකීම් සහ මානවයාගේ ස්වභාවයේ අනෙකුත් අංග සමඟ ඇති සම්බන්ධතාවය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නා වූ, ශ්‍රේෂ්ඨ දේශපාලන දර්ශනයන් වේ. එහෙත් සියලු දේශපාලන චින්තකයින් ඒ පිළිබඳව එතරම් පුළුල් ඉදිරිදර්ශනයක් ගෙන නො මැත. දේශපාලන දාර්ශනිකයින්ට සමගාමීව, ඒ හා සමානවම ප්‍රායෝගිකව සළකා බලන හා හුදෙක්ම, හැකි උපරිම යහපත් ප්‍රතිඵලයන් ජනිත කරවීම උදෙසා සැලකිලිමත් වන පුරාණ සම්ප්‍රදායක් ඇත. යුද්ධය හා ගැටුම් හා සම්බන්ධ ගැටළු කිසි විටෙකත් තුරන් කළ නොහැකි වූව ද, නිදහස හා සමානාත්මතාවය වැනි දේශපාලන වටිනාකම් අතර සම්බන්ධතාවය පිළිබඳ තර්ක ද කිසි විටෙකත් විසඳිය නොහැකි වූවද, ඇතැම් විට අපට ව්‍යවස්ථාමය සැලසුම්කරණයේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රගතියක් ලබා ගත හැකි ය, නොඑසේ නම් රාජ්‍ය නිලධාරීන්ට එම කාර්යය සිදු කල හැකි බවට හැකි තරම් සහතික කිරීමට වගබලා ගත හැකි ය. චීන දාර්ශනික කොන්ෆියුසියස් වැන්නන් ගේ දේශපාලනය පිළිබඳ මුල්ම සිතුවිලි සමහරක්, බුද්ධිමත් උපදේශකයාගේ කුසලතා හා ගුණධර්ම සමඟ සම්බන්ධ වේ.

දෘෂ්ටිවාදයේ පිබිදිම.

තවත් එක් ආකාරයක දේශපාලන චින්තනයක්, දෘෂ්ටිවාදාත්මක ලෙස විස්තර කෙරේ. දෘෂ්ටිවාදී චින්තනයෙහි ඉතා වැදගත් දාමයක් මගින් කුමන අදහස්, කුමන ආකාරයට ඓතිහාසික කාල පරිච්ඡේදයන් ට සුවිශේෂී වන්නේ ද  යන්න පිළිබඳව අවධාරණය කරයි. දෘෂ්ටිවාදාත්මක චින්තනයේ මූලාරම්භය ජර්මානු දාර්ශනිකයන් වන ජෝර්ජ් හේගල් (Georg Hegel) සහ කාල් මාක්ස්ගේ (Karl Marx) ඓතිහාසික දර්ශනයන් තුළ සොයාගත හැකිය. ඔවුන් විසින්, සමාජවල ආයතනයන් හා භාවිතයන් වෙනස් වීම, ඉතිහාසය පුරා අදහස්වල වැදගත්කම, ඉතිහාසය පුරාවට වෙනස්වීම හේතුකොට ගෙන, එක් එක් දේශපාලන යුගයේ අදහස් එකිනෙකට වෙනස් වන්නේ කෙසේද, යන්න පිළිබඳව පැහැදිලි කරනු ලබයි.

ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ප්‍රජාතන්ත්‍රවාදය භයානක හා දූෂිත ක්‍රමයක් ලෙස සිතූ අතර, නූතන ලෝකයේ බොහෝ මිනිසුන් එය දකින්නේ හොඳම ආණ්ඩු ක්‍රමය ලෙස ය. එසේම සමකාලීන ඒකාධිපති පාලන තන්ත්‍රයන් පවා, ප්‍රජාතන්ත්‍රීයකරණය වෙත ගමන් කරණු පිනිස දිරිමත් කරනු ලැබේ. ඒ හා සමානව ම, අතීතයේ දී වහල්භාවය යනු බොහෝ දෙනෙකුගේ සියලුම ආකාරයේ අයිතිවාසිකම් බැහැර කරන ලද්දා වූ ස්වභාවික තත්වයක් ලෙස සලකනු ලැබූ අතර, 20 වන සියවස වන තෙක් බොහෝ කාන්තාවන් පුරවැසියන් ලෙස පවා නොසලකන ලදී.

මෙහි දී සමානාත්මතාවය වැනි සමහර අදහස් වැදගත් වීමට හේතුව කුමක්ද යන්න සහ වහල්භාවය හෝ රජවරුන්ගේ දිව්‍යමය අයිතිය වැනි අනෙක් අදහස්  වියැකී යාමට හේතුව කුමක්ද යන ප්‍රශ්නය මෙය මතු වේ. අදහස්, කම්කරුවන් හෝ ධනපතියන් වැනි සමාජ පංතිවල අවශ්‍යතාවන්ට බැඳී ඇති බවට තර්ක කිරීම තුළින්, මාක්ස් මෙම ඓතිහාසික වෙනසට හේතු දක්වා ඇත. මෙම පංති අවශ්‍යතා කොමියුනිස්ට්වාදය හා සමාජවාදය සිට ගතානුගතිකවාදය සහ ෆැසිස්ට්වාදය දක්වා දෘෂ්ටිවාදාත්මක දේශපාලනයේ මහා “isms” ඇති කළේය. දෘෂ්ටිවාදාත්මක දේශපාලනයේ එකම ප්‍රභවය මාක්ස්ගේ සමාජ පංති නො වේ. මෑත කාලීන දේශපාලන අදහස් බොහෝමයක් ද, ලිබරල්වාදය, ගතානුගතිකවාදය, සමාජවාදය සහ ජාතිකවාදය හරහා වර්ධනය වී ඇත.

දෘෂ්ටිවාදාත්මක දේශපාලන චින්තනය ද සතුරුකම හා විවේචනයට භාජනය වී ඇත.  අදහස් හුදෙක් ම ඓතිහාසික  ක්‍රියාදාමයන්ගේ පිළිබිඹුවක් නම්, විචාරකයින් තර්ක කරන්නේ, එම ක්‍රියාදාමයන්ට හසු වූ පුද්ගලයින් ඉටු කරනු ලබන්නේ අත්‍යවශ්‍යයෙන්ම නිෂ්ක්‍රීය භූමිකාවක් වන බවත්, එබැවින් එම තාර්කික සාකච්ඡා කිරීම සහ තර්කයට ඇත්තේ සීමිත වටිනාකමක් බවත් ය. දෘෂ්ටිවාදාත්මක අරගලය පාපන්දු කණ්ඩායම් අතර තරඟයට සමාන ය. කණ්ඩායමට සහාය දැක්වීමේ දී,  සිතෙහි පවතින දැඩි ඇල්ම සහ ඊට විරුද්ධව සිටින තාර්කික බව හේතු සාධක වන නමුත් සියල්ල අවසානයේ දී වැදගත් වන්නේ ජයග්‍රහණය යි. දෘෂ්ටිවාදාත්මක දේශපාලනය යථාර්ථවාදයේ, නරකම සීමාවන්ගෙන් ඔබ්බට, එනම් පෙනී යන ආකාරයට එහි අවසානය, ම්ලේච්ඡ හෝ අයුක්ති සහගත මාධ්‍යයන් යුක්ති සහගත කිරීම දක්වා ව්‍යාප්ත වීමට හේතු වේ යැයි, බොහෝ දෙනා කනස්සල්ලට පත්ව සිටිති. ඒ අනුව දෘෂ්ටිවාදාත්මක දේශපාලනය ප්‍රතිවාදී හා ප්‍රතිසන්ධානගත නොවන කඳවුරු අතර නිරන්තර අරගලයක හෝ යුද්ධයක නියුතු ව සිටින ආකාරයක් දක්නට ලැබේ.

මෙම ගැටලුවට මාක්ස්ගේ විසඳුම වූයේ, කම්කරු පන්තියේ විප්ලවීය ජයග‍්‍රහණය සහ සම්පත්වල හිඟය තාක්‍ෂණිකව ජය ​​ගැනීම වන අතර ඔහුගේ අදහස වූ යේ එමඟින් මෙම දේශපාලනික ගැටුම  විසඳී යනු ඇති බවයි. 20 වන ශතවර්ෂයේ මුල් අවධිය වන විට, දේශපාලනයට වු මෙම ප්‍රවේශය පිළිබඳව බොහෝ දෙනා ඉහළ බලාපොරොත්තු තබාගෙන සිටිය ද, “විප්ලවීය වෙනස” එක් ආකාරයක මහජන පීඩනයක්,  තවත් එකක් වෙනුවට ආදේශ කර ඇති බව පෙනෙන්නට විය.

ඒ ආකාරයට බලන විට, මාක්ස්වාදය සහ අනෙකුත් මතවාද හුදෙක් යථාර්ථවාදී නොවන මනෝරාජික සදාචාරවාදයේ නවතම ආකාර වේ.

මතභේදාත්මක වූ අනාගතය.

ජෝර්ජ් හේගල්ට (Georg Hegel) අනුව, දේශපාලන අදහස් යනු සමාජයක, රාජ්‍යයක, සංස්කෘතියක හෝ දේශපාලන ව්‍යාපාරයක, දේශපාලන ජීවයේ සාරාංශයකි. එම අදහස් සහ එමඟින් පැහැදිලි කරන ආයතන හෝ ව්‍යාපාර පිළිබඳ හැඟීමක් ඇති කරගැනීම, ඒවායේ ඉතිහාසය හා වර්ධනය පරීක්ෂා කිරීම හා සම්බන්ධ වේ. එම ඉතිහාසය සෑම විටම අප දැන් සිටින ස්ථානයට අප  ආ ආකාරය කියාපාන්නා වූ කතාන්තරයක් වේ. අපට සිදු කළ නො නොහැකි දෙය නම් ඉතින් ඉතිහාසය ගමන් කරන්නේ කොතනටද යන්න පුරෝකථනය කිරීමයි.

රෝම පුරාවෘත්තවල මිනර්වා හි බකමූණාව ප්‍රඥාවේ සංකේතයකි.  නමුත් හේගල්ට අනුව, බකමූණා  “සවස් වරුවේ පමණක්  පියාසර කරයි.” මෙයින් ඔහු අවබෝධය ලැබෙන්නේ  අතිතය නැවත සලකා බැලීමෙන් පමණක් බව අදහස් කරයි. මීළඟට යා යුත්තේ කොතැනටද ?, යන්න පිළිබඳ අදහස් වර්ධනය කිරීම පිළිබඳ සුභවාදී හැඟීම්වලට විරුද්ධව හේගල් අනතුරු අඟවයි. එසේම, “නූතන රාජ්‍යයේ නැගීම ඉතිහාසයේ අවසානය වේ”, යැයි වන ඔහුගේ අනෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයට එරෙහිව, ඔහු සියුම් අනතුරු ඇඟවීමක් ද නිකුත් කරයි. සියල්ලට ම පසු අප විවෘත ආර්ථිකයන්, ව්‍යවස්ථාමය රජය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාස තබා ඇති අතර එබැවින් මෙතෙක් පැවති වඩාත්ම ප්‍රගතිශීලී, බුද්ධිමත් හා තාර්කික යුගය වර්තමානය වේ.

ලෝක ඉතිහාසයේ පසුගිය අවුරුදු 80 තුළ අධිරාජ්‍යවාදී පසුබැසීම් හා යටත් විජිතකරණයේ ප්‍රතිඵලයක් ලෙස, නව ජාතික රාජ්‍යයන් බිහි වී තිබේ. පෙර පැවති සෝවියට් සංගමය මෙන්ම යුගෝස්ලෝවියාව සහ චෙකොස්ලොවැකියාව වැනි සමූහාණ්ඩු නව රාජ්‍ය වලට බෙදී ගොස් ඇත. ක්විබෙක්, කැටලෝනියාව, කුර්දිස්තානය සහ කාශ්මීරය වැනි රටවල් ද ජාතික ස්වෛරීභාවයට ඇති කැමැත්ත ප්‍රබල ය. එහෙත්, ජනතාව රාජ්‍යත්වය සඳහා අරගල කරන අතර රාජ්‍යයන් විසින් සංකීර්ණ වූ ෆෙඩරල් රාජ්‍යයන් සහ දේශපාලනික සංගම් කරා ඇදී ගොස් ඇත. පසුගිය දශක හතර තුළ සමීප දේශපාලන දායකත්වයක් අපේක්ෂා කරන්නා වූ යුරෝපා සංගමයේ මෙන්ම උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ කළාපය සහ තවත් බොහෝ සංවිධාන කලාපීය සහයෝගීතාව සඳහා වූ පිබිදීමක් දක්නට ලැබිණි.

රාජ්‍ය ස්වෛරීභාවය පිළිබඳ පැරණි අදහස් වර්තමානය වන විට ස්වෛරීභාවය, ආර්ථික සහයෝගීතාව සහ ගෝලීයකරණය ආදියෙන් සමන්විත වූ නව දේශපාලන ලෝකයට නො ගැලපේ. මෙහි දී හේගල්ගේ අදහස් අදාළ වන බව පෙනේ.

වර්තමානය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ඉතිහාසය පුරා සංකල්පිත විවිධ දේශපාලන අදහස් හා න්‍යායන් පිළිබඳ අවබෝධයක් අවශ්‍ය වේ. මෙම අදහස් වර්තමානයේ සිදුවිය හැකි දෑ පිළිබඳ පැහැදිලි කිරීමක් මෙන්ම, අපගේ දේශපාලනික ඇගයීම් පිළිඹඳ අධික විශ්වාසයට එරෙහි අනතුරු ඇඟවීමක් ද වේ. එසේම, නොයෙක් දෙනා ගෙන් සමාජයේ සමස්ථ ජීවය සංවිධානය කිරීමේ හා පාලනය කිරීම සඳහා වන අවශ්‍යතාවයන් අපට සම්පූර්ණයෙන්ම පුරෝකථනය කළ නොහැකි ආකාරයට වෙනස්වන බව ද. ඒවා අපට සිහිපත් කර දෙයි. බලය ක්‍රියාත්මක කිරීම සඳහා නව හැකියාවන් පැන නගින විට, එහි පාලනය හා වගවීම සඳහා නව ඉල්ලීම් ද ඇති වන අතර, මේ සමඟ නව දේශපාලන අදහස් හා න්‍යායන් ද පැමිණෙනු ඇත. දේශපාලනය අප සියලු දෙනා කෙරෙහිම බල පවත්වන්නා වූ සහ දේශපාලනිකමය වශයෙන් ගනු ලබන තීරණ, අප සෑම දෙනාටම එකසේ බලපාන්නා වූ බැවින්, අප සියලු දෙනා එම විවාදයට සම්බන්ධ විය යුතු ය.

Leave a Reply