• ගිවිසුම් කියන්නේ මොනවා ද ?

ගිවිසුම් කියන්නේ කෙනෙක් ඉපදුන දවසේ ඉඳලා මැරෙන දවස වෙනකන් ම ජීවිතයට නැතුවම බැරි දෙයක් කියලා කියන්න පුළුවන්. මොකද උදේට තේ ටිකක් බොන්න කඩෙන් තේ කොළ පැකට් එකක් ගන්න තැන ඉඳලා, ඉඩමක් මිලට ගන්න කොට ඇතිකරගන්න ඔප්පු ( විකුණුම්කර )  ඒ වගේම ටික ටික ගෙවන්න ගෙදරට දෙයක් ගේනකොට ඇතිකරගන්න කුලී සින්නක්කර ගිවිසුම්, ගෙදරට වාහනයක් ගේන කොට ඇති කරගන්න (ලීසිං) කල්බදු ගිවිසුම්, ගෙයක්  කුලියට දෙන කොට ඇති කරගන්න ගෙවල් කුලී ගිවිසුම්, මේ හැම දෙයක්ම අයිති වෙන්නේ ගිවිසුම් වලට. ඒ විතරක් නෙමෙයි, හිතන්න කෙනෙක් දවස් දෙක තුනකින් ගෙනත් දෙන්නම් කියලා ඔයාගෙන් මොකක් හරි දෙයක් (ඒක සල්ලි වෙන්න පුළුවන් නැත්තම් ගෙදර බඩුවක් වෙන්න පුලුවන් ) නිකන් කට වචනෙට ඉල්ලන් යනවා කියලා, අන්න එතන තියෙන්නෙත් ගිවිසුමක්, මේ කියපු දේවල් එක්ක ඔයාලට පැහැදිලි වෙනවා ඇති ගිවිසුම් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන් කියලා.

  • ලිඛිත ගිවිසුම්

මෙන්න මේ ගිවිසුම් වර්ගය තමයි, අර කලින් කියපු විකුණුම්කර, (ලීසිං) කල්බදු ගිවිසුම්, කුලී සින්නක්කර ගිවිසුම්, වගේ ගිවිසුම් ඇති කර ගන්නකොට  හදන ගිවිසුම් වර්ග ය.  මේ විදිහෙ ගිවිසුම් වලට ඇතුලත් වෙනකොට ගිවිසුම්ට සම්බන්ධ වෙන ඒ ඒ පාර්ශව, ඒ ගිවිසුමෙන් ඉටුකර ගන්න බලාපොරොත්තු වෙන කාරණාවට අදාළ වෙන හැම කොන්දේසියක් ම, ඒ වගේම කවුරුහරි පාර්ශවයක් ඒ ගිවිසුමේ කොන්දේසි  කැඩුවොත්,  ඒ ගිවිසුම එහෙම කඩපු නිසා පීඩාවට පත්වෙච්ච අහිංසක පාර්ශවයට නීතිය ඉදිරියේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග වගේම, ගිවිසුමෙන් අරමුණු කර ගත්ත අදාළ කටයුත්තට තියෙන  මූල්‍යමය ප්‍රතිෂ්ඨාව, එහෙමත් නැත්නම් වටිනාකම ( උදාහරණයක් විදියට හිතන්න කෙනෙක්, තව කෙනෙකුට ඉඩමක් බදු දෙනවා අවුරුදු පහකට, එතකොට ඒ ඉඩම බදු දෙන්න එකඟ වෙන්නේ, බදු ගන්න කෙනා, බදු දෙන කෙනාට රුපියල් ලක්ෂ 5ක් ඒ අවුරුදු 5 වෙනුවට ගෙවන්න ගිවිසුමේ ඇතුළත් කරන කොන්දේසිය උඩ, අන්න ඒ ලක්ෂ 5ක මුදල තමයි, මේ බදු ගිවිසුමට අදාළ මූල්‍යමය ප්‍රතිෂ්ඨාව නැත්නම් සරලව කිව්වොත් වටිනාකම කියලා කියන්නේ ) කියන කාරනා මේ ගිවිසුම් වලට ඇතුලත් වෙලා තියෙන්න ඕනේ.

අනිත් කාරණාව තමනාව තමයි මේ වගේ ගිවිසුම්වලට ඇතුළත් වෙද්දි ඒ ඒ පාර්ශව මේ ගිවිසුමට අත්සන් තබන්න ඕන ආකාරය ඒ ඒ ගිවිසුමේ ස්වභාවය, අවස්ථාව, ආකාරය, අරමුණ අනුව වෙනස් වෙනවා උදාහරණයක් විදිහට නිශ්චල දේපළක් (උදාහරණ – ඉඩමක්) වෙනත් කෙනෙකුට මොකක් හරි විදිහකට පවරනවා නම් එතෙන්දි වංචා වැළැක්වීමේ පනතේ දෙවෙනි වගන්තියේ විධිවිධාන අනුගමනය කරලා තියෙන්න ඕනේ.

  • වංචා වැළැක්වීමේ පනතේ 2 වන වගන්තිය –

“ මසක කාල සීමාවක් සඳහා වූ බද්දක් හෝ කැමති අවස්ථාවක අවසන් කළ හැකි බද්දක් හැර,  යම් ඉඩමක් හෝ වෙනත් නිශ්චල දේපළක් විකිණීම, මිලදී ගැනීම, පැවරීම, අන්සතු කිරීම හෝ උකස් කිරීම හෝ එබඳු අරමුණක් ක්‍රියාවේ යෙදවීම පිණිස වූ හෝ ඉඩමකට හෝ වෙනත් නිශ්චල දේපළක ට බලපාන යම් සබඳතාවක් හෝ බැඳීමක් ඇති කිරීම් පිණිස වූ පොරොන්දුවක්, වෙළඳ ගිවිසුමක් කොන්ත්‍රාත්තුවක් හෝ එකඟතාවක් හෝ යම් ඉඩමක් හෝ වෙනත් නිශ්චල දේපළක් අනාගතයේ දී විකිණීම සඳහා හෝ මිලට ගැනීම සඳහා වූ යම් ගිවිසුමක් හෝ එකඟතාවක් හෝ හවුල් හෝ පොදු අයිතියක් පිට දරණ ඉඩමක යම් නොබෙදූ පංගුවක් හෝ සබඳතාවක් විකිණීමට ඇති අදහස් හෝ යෝජනාවක් පිළිබඳ තේසවලමේ පූර්වක්‍රය ආඥා පනත යටතේ දෙනු ලබන යම් දැන්වීමක්, එය ලියවිල්ලකින් නොවේ නම් හැර සහ එය ලබන තැනැත්තා විසින් හෝ ඔහු හෝ ඇය විසින් නීත්‍යානුකූලව බලය දී ඇති වෙනත් තැනැත්තෙකු විසින් එකම වේලාවකදී පැමිණ සිටින බලයලත් නොතාරිස්වරයකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකු ඉදිරිපිට අත්සන් කරනු ලැබුවේ නම් මිස සහ සාක්ෂිකරුවන් විසින් නිසි පරිදි සහතික කරනු ලැබුවේ නම් මිස නීතිය ඉදිරියේ බලාත්මක හෝ වලංගු නොවන්නේය.”

  • වාචික ගිවිසුම්

අර කලින් කිව්ව වගේ අහල පහල කෙනෙක්, ඒ කියන්නේ හොඳින් අඳුනන කෙනෙක්, දවස් දෙක තුනකින් දෙන්නං කියලා, කට වචනයට මුදල් හරි, එහෙමත් නැත්නම් වෙනත් මොකක් හරි දෙයක් ඔයාගෙන් ඉල්ල ගෙන යනව නම්, අන්න ඒ වගේ තැන්වල ඇති වෙන්නේ වාචික ගිවිසුමක්. මේ වගේ ගිවිසුම් ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ අසල්වැසියෝ, නෑයෝ, යාළුවෝ, ඔන්න ඔය වගේ හොඳින් දන්නා අදුනන කට්ටිය අතර, මේ වගේ ගිවිසුම් වලට උදාහරණ විදිහට සීට්ටු දාන එක, ඊළඟට කට වචනෙට අතමාරුවක් ඉල්ල ගන්න එක වගේ දේවල් තවමත් අපේ සමාජය  ගොඩක් බහුලව ක්‍රියාත්මක වෙනවා පෙන්වන්න පුළුවන් කම තියෙනවා.

නමුත් මෙතන දි සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි, සාමාන්‍ය තත්ත්වය යටතේ සැමියා සහ බිරිඳ අතරත්, දෙමව්පියන් සහ දූ දරුවන් අතරත්, යාළු හිතමිත්‍රාදීන් සහ නෑයෝ අතරත් ඇතිකරගන්න මේ වගේ ගිවිසුම් ගෘහස්ථ ගිවිසුම් කියලයි නීතියෙන් හඳුන්වන්නේ. මොකද ඒ වගේ පාර්ශව අතර ගිවිසුම්, ලාභ ලබන අරමුණක්, එහෙමත් නැත්නම් වාණිජමය අරමුණක් නැති, නීතියෙන් බලාත්මක කර ගන්න බරපතල අරමුණක් නැති එකඟතා, පොරොන්දු විදිහට නීතියෙන් පූර්ව නිගමනය කරන නිසා. කොහොම උනත් මේ විදිහේ ගිවිසුමක් ගැන අධිකරණයට සෑහීමකට පත් වෙන්න පුළුවන් විදිහෙ සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් නම්, ඒ කියපු පූරව නිගමනය බිඳ දා ළා, ඒ අදාළ එකඟතාව නීතිය ඉදිරියේ බලාත්මක කරන්න පුළුවන් ගිවිසුම්ක් කියන දේ තහවුරු කරන්න පුළුවන්.

  • ව්‍යංග ගිවිසුම්

අපි කලින් කතා කරපු ලිඛිත ගිවිසුම් සහ වාච්ක ගිවිසුම් කියන ගිවිසුම් වර්ග දෙක ප්‍රකාශිත ගිවිසුම් කියලා තමයි හඳුන්වන්නේ. ඒ මොකද, ඒ අවස්ථා දෙකේ දීම පාර්ශව තම තමන්ගේ එකඟතාවයන්ට අදාළ කොන්දේසි අනෙක් පාර්ශවයට පැහැදිළිව සන්නිවේදනය කරලා (ප්‍රකාශ කරලා) තියෙන නිසා. ඉතින් ඒ ගිවිසුම් දෙකට ම අමතරව ව්‍යංග ගිවිසුම් කියලා ගිවිසුම් වර්ගයකුත් ගිවිසුම් නීතියේ දී අපිට අඳුන ගන්න පුළුවන් කම තියෙනවා. මෙතෙන්දි වෙන්නේ පාර්ශවයන් ගේ හැසිරීම අනුව නීතිය මැදිහත් වෙලා ව්‍යංගයෙන් ගිවිසුමක් ඇති වෙලා තියෙන බව තීරණය කිරීම. එක් පැත්තකින් ඉදිරිපත් කරන යෝජනාවකට අනෙක් පාර්ශවය තමන්ගේ කැමැත්ත කෙළින්ම කියන්නෙ නැතුව නිහඬව හිටියාම හරි, නැත්නම් අදාළ යෝජනාවට තමන්ගේ අකමැත්තක් නොමැති බව, නැත්නම් තමන් කැමති බව වෙනත් ආකාරයකට ඇඟවීමක් කිරීමෙන් හරි තමයි මේ වගේ ගිවිසුම් ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ.

Leave a Reply