1.      අලුතින් හිතන්න පුරුදු වෙන්න.

ඔයාගේ පඵලදායීතාවය වැඩිකරගන්න මේ යන ගමනේ පලවෙනි පියවර විදිහට ඔයා මීට කලින් හිතපු විදිහට වඩා  වෙනස් අලුත් ආකල්පයක් ඔයා ඔයාට ම ආරෝපණය කරගන්න, එහෙමත් නැත්නම් අලුතෙන් හිතන්න පටන් ගන්න. මතක් කරල බලන්න මෙන්න මේ කියමන අහලා තියෙනවද කියලා  ” උමතු බව යනු එකම දේ සිදු කිරීමයි,  නමුත් වෙනස් ප්‍රතිඵල  බලාපොරොත්තු වේ”  ඒකෙන් අදහස් වන්නේ ඵලදායි නොවන, අකාර්යක්ෂම දේවල් ආයි ආයිමත් කරන එක මෝඩකමක් කියන එක. ඒ නිසා ඔයා යල් පැනපු ඔයාගේ පරණ හිතන පතන විදිහට ම බැඳිල ඉන්නව නම් ඒ හරහා අලුත් ප්‍රතිඵල බලා බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නෑ. නැවුම් අලුත් ආකල්ප අනුගමනය කරන එකෙන් ඔයාට ප්‍රයෝජනයක් ලැබේවිද?  ඔව්, අනිවාර්යෙන් ලැබේවි ! අලුත් ආකල්ප නිසා නිර්මාණාත්මක සිතිවිලිවලට අලුතෙන් ජීවයක් ලැබේවි. ඒත් එක්කම ඔයා ඔයාට තියෙන ප්‍රශ්නවල බරපතල කම ගැන කල්පනා කර කර, ඒ වගේම ඒ ප්‍රශ්න වල අන්තිමට ලැබෙන්න පුලුවන් ප්‍රතිඵල  කල්පනා කර කර ඉන්නවට වඩා ඒ ගැටලුවලට යථාර්තවාදී ව විසඳුම් හොයන්න පටන් ගනීවි.

2.      ඔයාගේ ප්‍රශ්න ඔයාට ඕන විදිහටට හීලෑ කරගන්න පුරුදු වෙන්න.

ඔයා ගේ මහන්සියේ තරමට ඔබට ලැබෙන ප්‍රතිඵල අඩුයි ද  ? අපි හැමෝම අපේ ජීවිත වල එක එක විදිහේ එකක් එක්ක ලොකු තරඟෙක පැටලිලා තමයි ඉන්නේ. එක්කෝ ඔයාට සෑහෙන වයසක් වෙලත් ඔයා තවමත් ඉගෙන ගන්නවා ඇති ඉතින් ඒ අතරේ රස්සාවක්  කරන්න හිත කියනවා ඇති, ඒත් පාඩම් වැඩ එකට වෙලාවක් නැතිව ඇති . එක්කෝ ගෙදර වියදම් වල තරමට ඔයාට තියෙන ආදායම මදි ඇති. ඇත්ත. හිතේ තියෙන හැම දේම එක පාර කරන්න පුළුවන්  කමක් තියෙනවා නම් හොඳයි තමයි.  ඒත් අපි කාටවත් ප්‍රායෝගික ජීවිතයේදී සුපිරි බල ඇත්තේ නෑනේ. පොඩ්ඩක් මත ක් කරලා බලන්න ගෙදර වැඩ එහෙමත් නැත්නම් ඔෆිස් එකේ වැඩ ගොඩගැහිලා එකක්වත් හරියට කරගන්න බැරුව ඔයාව හොඳටම හිර වවෙච්ච වෙලාවක්. ඒ හැමදේම එකපාර ඔයාට කරගන්න බෑ කියලා ඔයාට තේරිච්ච වෙලාවේ ඔයාට දැනිච්ච හැඟීම පොඩ්ඩක් මතක් කරල බලන්න. හ්ම්ම්ම්….  හරි….  කොහොම උනත් ඔයා ගේ මේ ප්‍රශ්නෙට ඉක්මන් විසඳුමක් තියෙනවා. ඔයාට තියෙන වැඩ වලින් හොඳටම කල්පනා කරලා ඔයාට වැඩිම බලපෑම්ක් වෙන එහෙමත් නැත්නම් ඔයා ඒ කරන දෙයින් ඔයාට වැඩිම ප්‍රතිලාභයක් අනෙක් පැත්තට ලැබෙන දේට මුල් තැන දෙන්න. ඔයාගේ ජීවිතයට කිසිම වටිනාකමක් ඇති නොකරන  පුංචි පුංචි දේවල් ගැන හිතලා කාලය නාස්ති කරන එක නවත්තන්න. ඉතින් ඔයාගේ ප්‍රශ්න ඔයාට ඕන විදිහටට හීලෑ කරගන්න පුරුදු වෙන්න. ඔයාට ඕනේ හැමදේම එකපාර කරන්න පුළුවන් කමක් නෑ, ඒ නිසා ඒකට උත්සාහ කරන්න යන්න එපා. ඒ නිසා ඔයා කරන්න ඕනේ දේ මොකක්ද කියන එක ගොඩක් පරිස් පරිස්සමට හරියට ඔයා තෝරාබේරා ගන්නවා නම්,  ඔයාගේ ඵලදායිතාවය, ඔයාගේ කාලයට ලැබෙන වටිනාකම ගොඩක් වැඩි වේවි.

3.      නිදහස්ට කාරණා කියන එකට නිදහස දෙන්න

එක පාරක් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මෙන්න මේ විදිහට කියලා තියෙනවා “He that is good for making excuses is seldom good for anything else,”  “නිදහසට කාරණා කියන කෙනා, ඒ හැර වෙනත් දේකට සුදුසු වෙන්නේ බොහොම කලාතුරකින් ”  කාටහරි මොකක්හරි දෙයක් වැරදුනාට පස්සේ ඒකට හේතුව විදිහට නිදහසට කාරණා කවුරුහරි කියනවා ඔයා දැකලා තියනෙනව ද ? මතක් වෙනවා නේ ද ? ම්ම්ම්ම්…. මතක් වෙනකොට තරහත් ඇති නේ ද ? හිතන්න ඒ විදිහටම ඒ අයත් ඔයා ගැන මතක් කරනවා ඇති. ” ඒ වාර්තාව මට ලියලා ඉවර කරන්න බැරි වුනේ , මට එක් අන්තිම මොහොතේ හම්බ වෙච්ච නිසයි ” ඒ  උනත් ඇත්තටම ඔයාට එක හම්බවෙලා තියෙන්නෙ සති දෙකකට කලින්. ” ඇත්තටම මට ව්‍යායාම කරන්න තිබුණා. කෝ ඉතින්, ඒ උනාට මට වෙලාවක් නෑනේ ” ඒ උනාට ඉතින් ඔයාටත් තියෙන්නේ අනිත් අයට දවසට තියෙන දවස පැය 24 ම තමයි නේ. නේ ද ? ඔයා ලඟට “ප්‍රශ්නයක්” විදිහට එක නිදහසට කරණාවක් එනව නම් ඒ එක කාරණාවට ඔයා විසඳුම් දෙකක් හොයන්න. අකමැත්තෙන් උනත්, මං නිදහසට කියන කාරණා ගැන, මම පිළිගත්තා.  ඉතිං ඔයාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටලුවලදී ඔයා ඒ දේවල් මඟඅරින්න නිදහසට කරුණු දිගින් දිගටම කියන්න පටන් ගන්න  එකෙන් නැති වෙන්නේ ඔයාගෙම ඵලදායිතාව, එහෙමත් නැත්නම් ඔයාගේ කාලයට ලැබෙන වටිනාකම. ඒ වගේම අමතක කරන්න හොඳ නෑ, නිදහස්ට කාරණා කියන්න කියන්න ඔයාට නැති වෙන්නේ අනිත් අය ඔයා ගැන තියලා තියෙන විශ්වාසය. ඒත් එක්කම ඔයාට නැති වෙලා යන්නේ ඔයාට ඔයාගේ හීන , ඉලක්ක වලට යන්න ලැබෙන්න  අවස්ථා. එනිසා මේ හැමදේකම රටාව අඳුර ගන්න. නිදහස්ට කාරණා කියන එකට නිදහස දෙන්න.  ඔයාගේ අතින්වෙ න වැරදි තියෙන අඩුපාඩුකම් බාරගෙන, හොඳින් තේරුම් අරගෙන ඔයාගේ ඵලදායීතාවය වැඩි කරගන්න. එතකොට එහෙම වැරදි අඩුපාඩු ඔයාගේ අතින් සිද්ධ වෙන්න හේතු වෙච්ච ඔයාගේ පුරුදු වෙනස් කරගන්න ඔයාම පුරුදු වේවි.

4.      අවධානය තියාගන්න පුරුදු වෙන්න.

ඔයා ඉගෙන ඉගෙන ගන්න කෙනෙක් නම් පාඩම් කරන්න පටන් ගත්තට පස්සේ ටිකක් වෙලා යනකොට පාඩම් පැත්තක තියෙද්දි වෙන මොකක් හරි ඔන්න හිතට එනවා. එක්කො ෆිල්ම් එකක් බලන්න හිතෙනවා, එහෙම නැත්තන් කාත් එක්ක හරි තියෙන ප්‍රශ්නයක් මතක් වෙනවා,  ඔය මොකක්වත් නැත්තං කොහේ හරි තියෙන බඩගින්නක් හරි එනවා. හැබැයි ඔය හැම කාරණයක්ම හිතලා බැලුවාම පේන්නේ ඔය එක්ක්වත්  ඒ වෙලාවට අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. ඔයාට තියෙන අවශ්‍යතාව එකක්, හැබැයි හිතට එන අරමුණ වෙනම එකක්. ඉතින් ඔයාගේ  අවධානය වෙන අතකට යොමු වෙනවා කියන එක සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කර දැමීමක්, ඒ නිසා ඔයාගේ සිතුවිලි ගැන අවධානය යොමුකරන්න. කොයි වැඩේ කරන්න ගියත් ඔයාගේ හිත ඒ අදාළ වැඩේට යොමු කරළා තියාගන්න උත්සාහ කරන්න. ඔයාගේ සිතිවිලි වෙන පැත්තකට ගිහින් කියලා මට තේරුණ ගමන් ඒවා නැවත නියම මාර්ගයට ගන්න.  ඔයා ඔයා කරන වැඩ ගැන නිසි අවධානය යොමු කරන්නෙ නැත්නම් ඔයාට ඵලදායී වෙන්න පුළුවන් කමක් නෑ.

ඒත් එක්කම පෞද්ගලිකව මම මගේ හිත, මගේ අවධානය වෙන පැත්තකට යන එක් නතර කරගන්න මම කරන දේත් මම ඔයාට කියන්නම්;

අවධානය කියන එක සම්පූර්ණයෙන්ම රැඳෙන්නේ අපේ හිතත් එක්ක. ඉතින් අපේ අවධානය එක තැනක රඳවා ගන්න ඕනෙ නම්, අපි කරන ඒ මොකක් හරි අදාළ වැඩේ ගැන අපේ හිතට දෙන අරමුණ, අපි කැමති විදිහෙ දෙයක් වෙන්න ඕනේ. එම නැත්තං හිත විසිරෙනවා, එහෙ මෙහෙ යනවා. එක ස්වභාවිකයි. ඉතින් උදාහරණයකට මම පාඩම් කරනවා නම්, මම හිතට කියනවා, මේක මම දැන් හරියට බැලුවොත් මට ආයෙමත් මේ කොටස පාඩම් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. ඒ වගේම තමයි මම හිතෙනවා, මට මේ වැඩේ ඇර මේ ලෝකේ වෙන කිසිම දෙයක් කරන්න නෑ. මට තියෙන එකම වැඩේ මේක විතරයි. ඒ  අදහස හොඳට හිතට දුන්නට පස්සේ  හිත විසිරෙන ගතිය ගොඩාක් අඩුවෙනවා. ඒ කොහොම උනත් ගොඩ වෙලාවක් එක දිගට මේ පාඩම් වැඩ කරගෙන යනකොට හිතට මහන්සියි එතකොට සමහර වෙලාවට ආයිමත් හිත ටිකක් එහෙ මෙහෙ යන්න උත්සාහ ගන්නවා. අන්න ඒ වෙලාවට, නෑ මං මේ වැඩේ කොහොම හරි දැන් ඉවර කරනවා කියලා හිතලා, හිමිහිට I can do it කියන වාක්‍ය එක රිද්මෙකට කියන්න ගන්නවා. අන්න එතකොට හිත ආයෙමත් එක තැනකට එනවා.

ඉතින් මේ මේ විදිහම වෙන්න ඕනේ නැහැ. මේ මගේ විදිහ. ඔයා හොඳට කල්පනා කරලා බලලා ඔයා ඔයාගෙ හිත එක තැන්ක තියාගන්න පුලුවන් විදිහක් හදා ගන්න.

5.      ඔයාගේ වටිනාකම දැනගන්න.

එක වෙලාවක මගේ යාළුවෙක්, එක්තරා ආයතනයක සභාපති උන එයාගේ යාළුවෙක්ගේ ආරාධනයක් උඩ ඒ ආයතනයෙන් පවත්වන්න තීරණය වෙලා තිබුණ උත්සවයකට උදව් කරන්න ගියා. ඉතින් මගේ යාළුවා ඒ උත්සවයේ තේමාවෙ ඉඳලා,  සංගීත කණ්ඩායම, උත්සව භාණ්ඩ, ඡායාරූප ශිල්පීන්, ආහාර පාන සපයන අය වගේ ඒ උත්සවයට අවශ්‍ය කරන හැමදේම පුළුවන් තරම් හොඳම විදිහට කතා කරලා, ඒ උත්සවය සම්පූර්ණ බර තමන්ගේ කරට අරගෙන සංවිධානය කරල දුන්නා.  උත්සවෙත් කිසිම අඩු අඩුපාඩුවක් නැතුව හොඳට තිබුණා. හැමෝම ගොඩක් සන්තෝස වුණා. හැබැයි උත්සවයේ අන්තිමට ස්තූති කතාවෙදි එක එක අයට ස්තූති කළත්,  ඒ අතරේ ඒ මුළු උත්සවය ම සංවිධානය කරපු මගේ යාලුවගෙ නම කීියවුනේ නෑ. ඉතින් ඒකට එයා ගොඩක් දුක්වුණා. ඒ වගේ අත්දැකීම් මටත් තියෙනවා. ඒ වගේම ඔයාටත් ඇති. ඉතින් ඔයා ඔයාගේ වැඩ කටයුතු වඩාත් ඵලදායීව කරන්න නම්, අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕනේ අංගයක් තමයි ඔයා කරන දේට සාපේක්ෂව නිසි ඇගයීමක් ලැබෙන එක. අැගයීම කියන එක “ස්තූති කිරීමක්” වගේ වචනයෙන් ලැබෙන දෙයක් වෙන්නත්, පුලුවන් එහෙමත් නැත්නම් ඒක මුදලක්, භාණ්ඩයක් හරි සේවාවක් හරි වෙන්නත් පුළුවන්.  කෙනෙකුට උදව්වක් විදිහට කරන දේකදි නිසි ඇගයීම කියන එක අපිට තීරණය කරන්න පුළුවන් කමක් නොතිබුණනත්.  අපි රාජකාරිමය කටයුත්තක් කරනකොට අපේ වටිනාකම, අපට ලැබිය යුතු ඇගයීම අපිට තීරණය කරන්න පුළුවන්කම තියෙනවා.  ඔයා ඔයාගේ රැකියාවේ යෙදෙන කොට  ” මං මේ වැඩ මහන්සිවෙලා වැඩකරන තරමට පඩියක් මට ගෙවන්නෙ නෑ නේ” කියලා ඔයාට ඕනේ තරම් හිතිලා ඇති.  හැබැයි ඇත්තටම ඔයාගේ සේවාදායකය හරි සේවායෝජකයා හරි ඔයාට ඔයාගේ මහන්සියට හරියන වටිනාකම ගෙවනව ද ? නැත්තං එහෙම නැද්ද ?  ඒ සේරටම කලින් ටිකක් හිතලා බලන්න ඔයාගේ වටිනාකම ඔයා දන්නවාද කියලා.  ඔයාගේ කාලයේ වටිනාකම ?  ඔයාගේ බුද්ධියේ වටිනාකම ? ඔයාගේ දහඩියේ වටිනාකම ?  ඔයා ඔයාගේ වටිනාකමක් හරියට දන්නේ නැත්නම් ඔබ ඔයා ඵලදායි වෙයිද ?  එහෙම නැත්නම් ඔයා ඵලදායි බවට පත් වෙන්නේ කවදාද කියන එක දැනගන්න ගොඩක් අමාරු වේවි. ඒ නිසා ඔයා ඔයාගේ වටිනාකම් තක්සේරු කරන්න.  ඔයාගේ කාලයට මූල්‍යමය වටිනාකමක් දෙන්න. ඔයා ඔයාගේ වටිනාකම දන්නවා වගේම, අනෙක් අයත් ඒ ගැන දැනුවත් වෙන බවට වග බලා ගන්න.  ඔයාගේ වටිනාකම් කිසිම වෙලාවක පහත් දාන්න යන්න එපා.  ඔයාගේ ස්වයං වටිනාකම මුදල් බවට හරවන්න පුලුවන්  නම් තමයි එතන ඵලදායීතාවය ඇතිවෙන්නේ.

This Post Has One Comment

  1. ටිරන්ත වලලියද්ද, ජනාධිපති නීතිඥ

    වටිනා උපදෙස්

Leave a Reply